නීතිඥවරයකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කළ දැනුම් දීම පිළිබඳව කරුණු දැක්වීමට අද (03දා) එම කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතිසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (02දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ජුලි මස 23 දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට නීතිඥවරයකුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තම කොමිසම කළ දැනුම් දීම පිළිබඳව හෙට කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතිසි නිකුත් කර ඇතැයි සඳහන් කළාය. අල්ලස් පනත යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ නිසි බලය සහිත අධිකරණයට පමණක් බවත් ඇය කියා සිටියාය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව පැවසීය. අදාළ නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නොවන බව අල්ලස් කොමිසම විසින් දැනටමත් දැනුම් දී ඇති බවත් ඒ අනුව පෙත්සම සමථයට පත්කර ගැනීමට හැකියාවක් තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් කළ දැනුම් දීමට එරෙහිව නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අද පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක