ජනාධිපති ධුරයට එක් පුද්ගලයෙක් පත්වුවද ආණ්ඩුවක් කළ යුත්තේ කණ්ඩායමක් සමඟ නිසා වර්තමාන ජනාධිපතිට වැඩ කිරීම සඳහා සුදුසු කණ්ඩායමක් පත්ව නැති බැවින් දැන් ඔහු තනි වී සිටින බවක් පෙනෙන්න තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (30 දා) පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
පළාත් පාලන ආයතන පිහිටුවීමේ පනත සම්බන්ධව තිබෙන විධි ප්‍රකාරව තමයි පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරු පත්වීම සිදුවන්නේ. ඒ අනුව සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන පළාත් පාලන ආයතනවල එක් පක්ෂයකට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙනවා නම් ඔවුන්ට සෘජුවම ඔවුන්ගේ සභාපතිවරයා සහ නගරාධිපතිවරයා පත් කිරීමේ හැකියාව තිබෙනවා. සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් නැති පළාත් පාලන ආයතනවල පනත ප්‍රකාරව සභික ප්‍රමාණයෙන් බහුතරය කැමැති පුද්ගලයා තමයි සභාපති වන්නේ. ඒ නිසා කිසිදු පක්ෂයක් බහුතරය දිනාගෙන නැති පළාත් පාලන ආයතන සියල්ලේම සභාපතිවරු සහ නගරාධිපතිවරු පත්වන්නේ සභිකයන්ගේ බහුතර කැමැත්ත මතයි.
මේ ආකාරයට තමයි පනතේ සඳහන් වන්නේ. ඒ වගේම පළාත් පාලන පනතේ සභාපති සහ නගරාධිපති පත් කිරීම පිළිබඳව නීත්‍යනුකූල ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වය දරන පළමු සභා රැස්වීමේදී බහුතරයේ සහයෝගය ලබා ගන්නා සභිකයා සභාපති හෝ නගරාධිපති වශයෙන් පත්වීම පළාත් පාලන කොමසාරිස්වරයා ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිගත යුතුයි.
ඒ වගේම පසුගිය දිනක මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා ලංකා ආණ්ඩුවේ ටි්‍රලියන 27 ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා තිබෙනවා. එයින් ටි්‍රලියන 20ක් පමණ ආගිය අතක් නැති බව සඳහන් කරනවා. ඒ මුදල් සොරකම් කර ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මේ බව ප්‍රකාශ කරන්නේ විගණකාධිපතිගේ වාර්තාවක් මත පදනම් වෙලා. රටේ විදේශ ව්‍යාපෘතිවලින්, විදේශ ණයවලින්, විදේශ පිරිනැමීම්වලින් මෙතෙක් ගත්ත ණය ප්‍රමාණය හා ආයෝජන ප්‍රමාණය ඒකාබද්ධ අරමුදලේ සහ ප්‍රධාන අරමුදල්වල නැති බව
විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. ටි්‍රලියන 27ක ආයෝජන වත්කම් ලෙස පෙනෙන්නට නැති බව තමයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ වගේම එවැනි වත්කම් විවිධ ස්ථානවල තිබෙන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. උදාහරණයක් ලෙස මහවැලි අධිකාරිය ගත්ත ණය ප්‍රමාණය මහවැලි අධිකාරියේ විගණනය තුළ, මාර්ග සංවර්ධන ආධිකාරිය ගත්ත ණය ප්‍රමාණය මාර්ග සංවර්ධන ආධිකාරියේ විගණනය තුළ තමයි තිබෙන්නේ. ඒ නිසා වැය කිරීම්වලට සම්බන්ධ වත්කම් ප්‍රකාශනය සම්පූර්ණ මූල්‍ය අරමුදල තුළ නැති බව තමයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ නිරීක්ෂණය නිවැරැදියි. නමුත් ඒ නිරීක්ෂණය අනුව ටි්‍රලියන 20ක් පමණ හොරකම් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එවැනි දෙයක් කිසිසේත්ම සිදුවෙලා නෑ. මෙම මුදල් සොරකම් කළ බවට ආණ්ඩුව කරන ප්‍රකාශ සරල සිල්ලර මෝඩ ප්‍රකාශයක්. ඒ වගේම ලංකාව ගත්ත ණයවලට සමාන්තර වත්කම් නෑ කියන්නේ එම වත්කම් මුදල් අමාත්‍යාංශයට අදාළ ලේඛනවල නෑ කියන දෙයයි. එසේ නැතිනම් එම මුදල් රටේ නැති බවක් එහි සඳහන් වන්නේ නෑ කියන දෙය නෙවෙයි. කෙසේ නමුත් ආණ්ඩුව විගණකාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සමාජගත කර තිබෙන්නේ වැරැදි ආකාරයටයි.
ජනාධිපතිවරයාට ඉදිරියට යෑමට හොඳ කණ්ඩායමක් සකස් කරගත යුතුයි. වර්තමාන ජනාධිපතිවරයාට වැඩ කිරිම සඳහා සුදුසු කණ්ඩායමක් පත්වෙලා නෑ. කෙසේ නමුත් ජනාධිපතිවරයා දැන් තනිවෙලා සිටින බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම පරණ බොරු නැවත නැවත කියන්න උත්සහ කිරීමෙන් සිදුවන්නේ පඹ ගාලක නැවත පැටලීමයි.
අකිත පෙරේරා