අගතියට පත්වන අය සමග නීතිය හමුවට යනවා- විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට මින් ඉදිරියට දේශීය සාමාන්‍ය සිසුන් බඳවා නොගන්නේ නම් අගතියට පත්වන එම පාර්ශ්ව සමග නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (25දා) පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මින් ඉදිරියට දේශීය සිසුන් සඳහා විවෘත නොකරන බව පැවසීම හාස්‍යයට කරුණත් බවත් මෙම ආණ්ඩුව බලයට පත්වී මාස හයකට අධික කාලයක් ගතවුවත් මේ දක්වා නිශ්චිත අධ්‍යාපන හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අසමත්වීම ඉන් පැහැදිලි වන බවත් ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.
සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමෙන් වසරකට ඩොලර් බිලියනයකට අධික විදේශ සංචිත රටට අහිමිවන බවත් ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නැති බවත් ඒ මහතා කීය.
ලෝකයේ දියුණු රටවල ජනගහනයෙන් දහසකට වෛද්‍යවරුන් පස්දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එය ශ්‍රී ලංකාවේ දහසකට වෛද්‍යවරුන් එකයි දශම හයක් (1.6) බවත් පැවසූ ඒ මහතා, සෑම වසරකම නිසි සුදුසුකම් සම්පූර්ණ කරන උසස් පෙළ සමතුන් අටසියයකට ආසන්න පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීම සඳහා රට හැර යන බවත් මින් එක් සිසුවකු සඳහා දෙමාපියන් වසරකට රුපියල් මිලියන දහයකට ආසන්න මුදල් වියදම් කරන බවත් ඉන් මෙරට සංචිතවලට රුපියල් මිලියන අටදහසක් අහිමිවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දේශීය සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලා රැසක් පවතින බවත් වෛද්‍ය පීඨයට පමණක් දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීම එම සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවටත් ඒ මහතා චෝදනා කළේය.
චමින්ද සිල්වා