බස් රථ රියැදුරන් සඳහා ආසන පටි භාවිතය අනිවාර්ය කරමින් නව නීතියක් හඳුන්වා දී ඇතැයි මෑතකදී පළවූ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
එවැනි නව නියාමනයක් ක්‍රියාත්මක කර නොමැති බවත් ආසන පටි අවශ්‍යතාව 2011 වසරේ සිට ක්‍රියාත්මක වන බවත් පොලිසිය කියයි.
පොදු ප්‍රවාහන හා අනෙකුත් වාහනවල රියැදුරන් සඳහා ආසන පටි භාවිතය 2011 අගෝස්තු 09 වැනිදා නිකුත් කරන ලද අංක 1718/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අනිවාර්ය කර තිබේ.
නව නීතියක් හඳුන්වාදී ඇති බවට ඇතැම් ජනමාධ්‍ය ආයතන ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බවත් දිගුකාලීන ආසන පටි භාවිතය නිසා ඇති විය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව බරපතළ ගැටලුවක් ඇති බවත් පොලිසිය අවධාරණය කරයි.
මෙය නව නීතිමය අවශ්‍යතාවක් නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ගැටලු සැලකිල්ලට ගනිමින් නැවත සිහිපත් කරන දිගුකාලීන නීතියක් බවත් පොලිසිය කියා සිටී.
1981 අංක 21 දරන මෝටර් රථ (සංශෝධන) පනතේ 169 වැනි වගන්තිය ද උපුටා දක්වන පොලිසිය එහි සඳහන් වනුයේ රියැදුරකු අඛණ්ඩව රිය පැදවීමේදී සෑම පැය හතරහමාරකට වරක් මිනිත්තු 30ක විවේකයක් ලබාගත යුතු බවත් පැය 24ක් තුළ පැය 10ක විවේකයක් ලබාගත යුතු බවත්ය.
ආසන පටි භාවිතය පිළිබඳ මතක් කිරීම රටපුරා දිනපතා වාර්තාවන මාරාන්තික සහ මාරාන්තික නොවන මාර්ග අනතුරු අඩු කිරීමේ වැඩසටහනක කොටසක් බව එම නිවේදනයේ දැක්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්