මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සහ මිල තීරණය කිරීම කිසිදු ගොවි සංවිධානයක් සමග හෝ ගොවි නියෝජිතයන් සමග සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව හිතුමතේ සිදුකර ඇතැයි ‘ජාතික ගොවිජන එකමුතුව’ චෝදනා කරයි.
අස්වනු නෙළමින් පැවතිය දී ආණ්ඩුව ඉන්ධන මිල ගණන්ද ඉහළ දමා ඉන් ගොවීන්ට සිදුවන බලපෑම ගැන කිසිදු තක්සේරුවක් සිදුනොකර කටයුතු කිරීම ගොවියාට සිදුකළ විශාල අසාධාරණයක් බවද එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.
යල කන්නයේ පොහොර මිලද දෙවැනි මුරයේ සිට වැඩිකර ඒ අතරවාරයේ ඩීසල් මිලද ඉහළ නංවා ගොවියාට වී සඳහා සාධාරණ මිලක් නියම නොකර, ගණන් විජ්ජාවෙන් ගොවියා රැවටීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.
පවතින තත්ත්වය යටතේ ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති මොහොතක ඊට ගැළපුම් ගාස්තු සහිතව, වියළි සහ තෙත වී වෙනුවෙන් සාධාරණ මිලක් නියම කිරීමට රජය අපොහොසත්ව ඇතැයිද හෙතෙම පැවසීය.
“වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම සඳහා ගොවියා දිරි ගැන්වීමට මේ ආණ්ඩුව කටයුතු කර නැහැ.” වී අලෙවි මණ්ඩලයේ ගබඩා විශාල ප්‍රමාණයක් තවමත් විවෘතව නැහැ. නමුත් ප්‍රායෝගික මිලක් නොලැබුණොත් ගොවියා රජයට වී දෙන්නේ නැහැ. පුද්ගලික වෙළෙන්දා කුඹුරටම ඇවිත් වී ටික ගන්නවා. රජයේ වී ගබඩාවල වී වේලන ‘ඩයර්’ යන්ත්‍ර නැහැ. මේ තාක්ෂණික පහසුකම නැති නම් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතිය සමග ඒකාබද්ධ යාන්ත්‍රණයක් සෑදිය යුතුයි.
ආණ්ඩුව වැඩි වූ ඉන්ධන මිලට සාපේක්‍ෂව වී සඳහා ගැළපුම් ගාස්තු සහිතව සාධාරණ සහතික මිලක් ලබා දිය යුතුයි. කෘෂි ඇමැති, නියෝජ්‍ය ඇමැති, ඇතුළු කෘෂි බලධාරීන් මේ මිල නියම කිරීමේදී කිසිදු ගොවි සංවිධානයක්, නියෝජිතයෙක් සමග සාකච්ඡා කළේ නැහැ. ගොවියාගේ වී ප්‍රශ්නය ඉතාමත් සංවේදී කාරණයක්. අපි මේ සම්බන්ධයෙන් සියලු ගොවි සංවිධාන සමග සාකච්ඡා කර ඉදිරියේදී ගතයුතු පියවරට යනවා” යැයිද අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර