මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බවත්, එය දේශපාලනඥයාගේ කාර්යයක් පමණක් නොවන බවත්, මෙරට ජීවත්වන පුරවැසියාගේ චින්තනය උසස් කිරීමේ කාර්ය සිදුකළ හැකි ඉහළම කණ්ඩායම විද්‍යුත් විකාශකයන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විද්‍යුත් විකාශන සමුළුව 2025 (Broadcasting Symposium) සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. සමුළුව පෙරේදා (25 දා) පෙරවරුවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.
මෙම විද්‍යුත් විකාශන සමුළුව සඳහා ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, මාධ්‍ය විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් අභියෝග, වගකීම්, සදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ අනාගත අපේක්ෂාවන් ආදී කරුණු පිළිබඳ මෙම සමුළුවේදී පුළුල් කතිකාවතක් සිදුවිය.
විද්‍යුත් විකාශන සමුළුව සැසි 04කින් සමන්විත එක්දින වැඩමුළුවක් වූ අතර ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳවද මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි.
විද්‍යුත් විකාශකයන්ගේ සංගමය මෙරට පුරවැසියා සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මැදිහත්වන සහ ශ්‍රී ලංකාව පහුගිය කාලයේ විවිධ අර්බුදවලට මුහුණදුන් අවස්ථාවන්වලදී තම කාර්යභාරය ඉතාම ඉහළින් ඉටු කළ සංගමයක් බවත්, මෙරටට අවශ්‍ය වන්නේ එවැනි සංගම් බවත්, ඒ වෙනුවෙන් සිය ගෞරවය ද පිරිනමන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මාධ්‍ය ලෝකයේ තරගකාරීත්වය පිළිබඳව සහ එහි සමාජ වගකීම් පිළිබඳවද ස්වෙච්ඡාවෙන් ක්‍රියාත්මක වෙමින් මෙවන් කතිකාවක් සංවිධානය කළ කණ්ඩායමකට නායකත්වය ලබාදීමට හැකිවීම මාධ්‍ය ඇමැතිවරයා ලෙස තමන් ලැබූ භාග්‍යයක් බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
දශක 5කට අධික කාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළ සහ මෙම සමුළුව සඳහා විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වූ ශාන් වික්‍රමසිංහ මහතාට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය මගින් ගෞරව හරසර ප්‍රණාම මෙහිදී පුදකළ අතර ඒ වෙනුවෙන් ප්‍රණාම තිළිණයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශාන් වික්‍රමසිංහ මහතාට මෙහි දී ප්‍රදානය කරන ලදී.
ඉන්දුනීසියාවේ ඉස්ලාමීය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ මහාචාර්ය මස්ඩුකී මහතා (Professor Masduki) විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වන ලදී.