විපක්ෂ නායක මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
2015, 2019 සමයේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ සමයේ නිවාස අධිකාරිය පිරිනැමූ නිවාස ණය යළි අයකර ගැනීම නිසි ලෙස සිදු නොවූ බවට නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත් මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව විපක්ෂ නායක මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. එහි මෙසේ ද සඳහන් වේ.
2015 – 2019 සමයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ සමයේ, නිවාස සංවර්ධන අධිකාරිය පිරිනැමූ නිවාස ණය යළි අයකර ගැනීම නිසි ලෙස සිදු නොවූ බවට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.
හිසට සෙවනක් නොමැති මෙරට අඩු ආදායම් ලාභී පවුල් තුන්ලක්ෂ අසූ හත් දහස් පන්සිය විස්සකට නිවාස ඉදිකර දීම සඳහා 2015-2019 කාලසීමාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ බවත් ඒ සඳහා මහා භාණ්ඩාගාරය ලබාදුන් රුපියල් මිලියන 37,000 ක මුදල නිසි අයුරින් භාවිත කළ බවත් අප අවධාරණය කරන්නෙමු.
නිවාසලාභියකුට අදාළ ණය මුදල් අදියර 3ක් යටතේ පිරිනැමීම සිදු කර තිබූ අතර එය පිළිවෙළින් නිවසේ අත්තිවාරම දැමීමෙන් පසු, බිත්ති ඉදිකිරීමෙන් පසු සහ වහලය ඉදිකිරීමෙන් පසු ලබාදීමට සැලසුම් කර තිබිණි. මෙම නිවාස වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් රට පුරාම ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී පිරිනැමූ ණය යළි අය කර ගැනීමද ක්‍රමාණුකූලව නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු විය. මෙම නිවාස ණය යෝජනා ක්‍රමය 1984 සිට ක්‍රියාත්මක වූ අතර ඒ අනුව නිවාසලාභීන්ගෙන් මසකට යළි අයකර ගනිමින් තිබූ රුපියල් මිලියන 300ක මුදල
2015-2019 සමයේ දස ගුණයකින් වර්ධනය කරගනිමින් රුපියල් මිලියන 3000 ක මට්ටමට ගෙන ඒමටද එදා හැකියාව උදාවී තිබිණි.
එලෙස අයකරගත් මුදලින් නිවාස අධිකාරියේ සමස්ත සේවකයින්ගේ වැටුප් ගෙවීමටත්, ඉතිරි මුදල් නිවාස වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමටත් හැකිවීම තුළින් මහා භාණ්ඩාගරයට බරක් නොවූ ආයතනයක් බවට නිවාස සංවර්ධන අධිකාරිය පත් කිරීමටද අමාත්‍යවරයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව උදාවිය. 2015 – 2019 කාලය තුළ පවුල් තුන්ලක්ෂ අසූ හත්දහස් පන්සිය විස්සක් සඳහා නිවාස ඉදිකිරීමට අරමුදල් ලබාදී තිබූ අතර ඒවා යළි අයකර
ගැනීමේ කටයුතු අතර මග ඇණහිට තිබුණේ 2019 වසරේ නව රජයක් බලයට පත්වීමත් සමඟ ඇතිවූ දේශපාලන වෙනස නිසා බවද අප සිහිපත් කරන්නෙමු.
සත්‍ය වෙනුවට, අසත්‍ය සමාජ ගතකරමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින අතර, ඒ සඳහා මාධ්‍ය වාර්තා පල කිරීම පිළිබඳ කණගාටුව පළ කරමි.
මෙරට ජනතාවට සුරක්ෂිත නිවසක අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවේචනය කරමින්, බොරු අවලාද නැගීම පසෙක තබා 80 දශකයේ සිට මෙරට අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති යළි ආරම්භ කිරීම වැදගත් බව අප වත්මන් රජයට අවධාරණය කරන්නෙමු.