මැදපෙරදිග යුද්ධයෙන් රටට සිදුවන හානිය අඩු කරගන්න රජය වහා මැදිහත් විය යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
ආණ්ඩුවේ වැඩ නිසා රාජ්‍ය යාන්ත්‍රණය රජය එක්ක තරහ වෙනවා – චාමර සම්පත් දසනායක
අඩුපාඩු පෙන්වූවාට කමක් නෑ: ජනතාව බියවැද්දීම බරපතළයි – ටී. බී සරත්
දුර්වල ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන්වත් නිවැරැදි කරන්න – නාමල් රාජපක්ෂ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ මතුවන කරුණු පිළිබඳ කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති වෙත යොමු කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් සිදුකිරීම කළ යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ (19 දා) පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය.
පසුව කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි 2 පියවර යටතේ කිරි ගවයන් 15000ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ පසුගිය මැයි 21දා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද විශේෂ විගණන වාර්තාව සහ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පසුගිය ජුනි 04 දා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව විවාදය ආරම්භ කරනු ලැබීය.
සභාව කල්තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා –
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා ඉදිරිපත් කෙරෙන වාර්තා පරීක්ෂා කර බලද්දීත් ඊට අදාළ පාර්ශ්ව ගෙන්වා සළකා බලද්දීත් විවිධ මට්ටමේ දූෂණ සහ වංචා රැසක් අනාවරණය වී තිබෙනවා. කිරි ගවයන් ආනයනය කිරීමේ තුන්වෙනි අදියරේ දෙවැනි පියවර යටතේ කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අත්තිකාරම් ලබාදීම පිළිබඳව විශේෂ විගණන වාර්තාවෙන්ද එවැනිම කරුණු අනාවරණය වේ. මෙම තත්ත්වය තවදුරටත් ඇති නොවීමටත් සමාජය වඩාත් සුපිළිපන්න කිරීම සඳහාත් අපට වගකීමක් ඇත. එම නිසා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ මතුවන කරුණු පිළිබඳ කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති වෙත යොමු කිරීමට හැකි වන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් සිදු කිරීම කළ යුතු යැයි යෝජනා කරනවා.
කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමේදී සිදුව ඇති දේ පිළිබඳ විශේෂ විගණන වාර්තාවත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2022 හා 2023 වසරවල විගණන වාර්තා සහ 2024 වර්ෂයට අදාළව ලබාදුන් නිර්දේශ සම්බන්ධව අද මේ සභාවට කරුණු වාර්තා කරනවා. මෙම කිරි ගවයන් ආනයනය කිරීමේදී පළමු සහ දෙවන අදියරවල්වලදී කිරි ගවයන් 400ක් පමණ ඔස්ටේ්‍රලියාවෙන් ආනයනය කර තිබෙනවා. එහි තුන්වෙනි අදියරේදී කිරි ගවයන් 20000ක් ආනයනය කිරීම සඳහා 2014 වසරේ සිට කටයුතු සම්පාදනය වෙලා තිබුණා. එහි මුලින්ම කිරි ගවයන් පන්දහසක ප්‍රමාණයක් ආනයනය කර තිබුණා. එහි ඉදිරි පියවර ලෙස කිරි ගවයන් තවත් 15000ක් ගෙන්වීම සඳහා කටයුතු ආරම්භ වෙලා තිබුණා. එහිදී සිදුවූ ගැටළු ගණනාවක් තිබෙන බව විගණන වාර්තාවෙන් සඳහන් කරනවා. මෙහිදී කිසිඳු ප්‍රසම්පාදන කටයුතු සිදුවෙලා නෑ. එහිදී ඩොලර් ලක්ෂ 80කට වැඩි මුදලක් ඇස්තමේන්තු කර තිබුණා. ඉන් සියයට 20ක් වූ රුපියල් ලක්ෂ 17496ක් අත්තිකාරම් මුදල එම ඔස්ට්‍රේලියන් සමාගමට එකවර ගෙවා තිබුණා. වසර තුනක් සඳහා එකවර මෙම මුදල් ලබා දී තිබුණත් එක කිරි ගවයෙක්වත් ගෙන්වා නෑ. ඒ නිසා රුපියල් ලක්ෂ 21103ක මුදලක් අපතේ යනවා. මේ ක්‍රියාවලියේදී වංචා සිදුවූ ආකාරය විගණන වංචාවෙන් පැහැදිලියි.
ඒ වගේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සතුව තිබෙන සංයුක්ත සැලැස්ම, කාර්ය මණ්ඩල ගැටළු සහ එම පනත සංශෝධනය කිරීම, මැණික් අපනයනයේදී අයකරන ගාස්තු ඇතුළු කරුණු ගණනාවක් පරීක්ෂා කළා. ඒ ගැනත් අපි වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ ගැන මන්ත්‍රීවරු සියලු දෙනා සාධනීයව මැදිහත් වෙනු ඇතැයි අපි සිතනවා.
යෝජනාව ස්ථිර කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානයක මහතා (ජාජබ) –
2014 ජනවාරි මාසයේ මුදල් ඇමැති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුවයි කිරි ගවයන් ආනයනය කිරීමට අනුමැතිය ලැබුණේ.
අවස්ථා 3කදී 2017, 2018, 2020 අදියර තුන යටතේ ගවයන් ආනයනය කරන්න යෝජනා වුණා. ඇ.ඩො. ලක්ෂ 80ක් පමණ මේ සඳහා වියදමට ගත්තා. ගවයන් 15000ක මුළු වටිනාකම ඩොලර් ලක්‍ෂ 110ක්. ලංකා මුදලින් රුපියල් ලක්ෂ 17496ක්. සියයට 20ක අත්තිකාරමක් දීලා කිසිම හරකෙක් ලංකාවට ගේන්නේ නැතිවයි වැඩේ කරලා තියෙන්නේ.
2017 5018ක් හරක් ආනයනය කළා. ගෙනාපු හරක් නිශ්චිත ශක්‍යයතා වාර්තාවකින් තොරවයි ගවයන් ආනයනය කළේ. විවිධ ලෙඩ රෝග ඇතිවුණා. විවිධ වෛරස් ලංකාවට ඇතුළු වුණා. මෙය විශාල ව්‍යසනයක්. මේ නිසා ගවයන් විශාල ප්‍රමාණයක් රට තුළදී මියගියා. කිරිගව ආනයනයෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු වූයේ නෑ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ඉරාන ඊශ්‍රායල යුද්ධය තුළ බරපතළ මානුෂීය ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. එය එම රටවල් දෙකේ ජනතාවට පමණක් නොව මෙරටින් ඊශ්‍රායලයට ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන 20000කට පමණ බලපෑම් සිදුව තිබෙනවා. මේ ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන නිසා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. මොවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සුබසාධනය හා රැකවරණය වෙනුවෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස අපි ආණ්ඩුවට කියනවා.
2024 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.57ක් මොවුන් නිසා අප රටට ලැබී තිබෙනවා. සියයට 80ක් ශ්‍රමිකයන් මැදපෙරදිග බල ප්‍රදේශයේ රැකියා කටයුතුවල නිරත වෙනවා. ඔවුන් එවන ප්‍රේෂණවල සියයට 10ක් අඩු වුවහොත් එනම් ඩොලර් මිලියන 660ක අඩුවීමක් සිදු වෙනවා. විශේෂයෙන් යුද්ධය පුළුල් වුණොත් රැකියා නැති වී අප රටට ද බරපතළ ගැටලුවක් මතු වෙනවා.
ඒ වගේම තෙල් මිල ඉහළ යෑම සියයට 7කින් වර්ධනය වෙලා. තෙල් බැරලයක් ඩොලර් 75ට ආසන්න වෙලා. ඩොලර් 10ක වැඩිවීමක් තුළ ඇ. ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් අමතරව අපේ රටේ තෙල් මිලට එකතු වනවා. අපේ රට වාර්ෂිකව ඇමරිකානු ඩො. බි. 4.5ක තෙල් ආනයනය කරනවා. එය අපි කරන මුළු ආනයනවලින් සියයට 25%ක් පමණ. තෙල් මිල වැඩි වීමක් තුළ අප රටට අත්වන ආර්ථික ඉරණම තුළ හොඳ විශ්ලේෂණයක් කර ආර්ථිකයට අත්වන අගතිගාමී තත්ත්වය මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (නප්‍රජාස) –
කිරි හරක් වංචාවක් ගැන පැමිණිල්ල දාල තියෙන්නේ එදා ඒ අමාත්‍යාංශයේ ගිණුම් භාරව සිටි පුද්ගලයා. ඔහු මේ ආණ්ඩුවේ ආයතනයක ප්‍රධානියෙක්. ගිවිසුම හංගගෙන ඉඳලා කාලය ඉක්මවා ගියා.
මේ යන වැඩවලට රාජ්‍ය යාන්ත්‍රණය රජය එක්ක තරහ වෙනවා. පසුගිය ආණ්ඩුවල ඉඳලා කාලා කාලා ඉවර කරපු අය මේ ආණ්ඩුවෙත් ඉඳගෙන එක එක්කෙනාට පෙත්සම් ගහනවා.
බන්ධනාගාර කොමසාරිස්ට මංචු දාන්නේ බන්ධනාගාර නිලධාරීන්මයි. එය ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. රාජ්‍ය යාන්ත්‍රණය වැඩ කරන්නේ නැතිව යයි. එයින් ප්‍රශ්න එන්නේ ආණ්ඩුවටයි. ආණ්ඩුවට වැරැදි හදා ගන්නයි මම හැමදාම මේවා කියන්නේ.
නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත් මහතා –
විපක්‍ෂයේ සමහරු කතා කරන්නේ ජනතාව බිය ගන්වලා නැති ප්‍රශ්න ඇති කරන්නයි. ඊශ්‍රායලයේ ඇතිවන විනාශය ගැන හැමදාම කියනවා. පිළියම් කියන්නේ නෑ. මහා විනාශයක් වන බව කියමින් ජනතාවට බියක් ඇති කිරීමේ උත්සාහයක් පවතිනවා. අඩුපාඩු පෙන්වූවාට කමක් නෑ. ඒ හරහා ජනතාව බිය ගැන්වීම බරපතළ වරදක්.
කිරි අවශ්‍යතාවයෙන් සියයට 64ක් අපි ආනයනය කරනවා. ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 70කට වඩා වියදම් කරනවා. මේ තත්ත්වය මඟහරවා ගන්න 2014 දී මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ. මෙමගින් රුපියල් ලක්‍ෂ 21000කට වඩා පාඩුවක් රටට තියෙනවා. දෙවන වර කිරි හරක් ආනයනයේදී පළමුවර ගෙන්වූ ප්‍රමාණයට වඩා ගවයෙකුගේ ගණන රුපියල් ලක්‍ෂයකින් වැඩිවෙලා.
පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (ශ්‍රීලපොපෙ) – අවුරුදු අටක් තිස්සේ හරක් ගේන්න සැලසුම් කරලා. අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දුර්වලයි. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන්වත් නිවැරැදි කරන්න. පවතින ක්‍රමවේදය යටතේ හැමදාම කතා කරකර තමයි ඉන්න වෙන්නේ.
ඉතිහාසයේ සියටම කෝප් කමිටු මාධ්‍ය සංදර්ශනය පමණයි. කර ඇත්තේ. නිලධාරීන් අපහසුතාවට පත් කරනවා.
පත්කළ මන්ත්‍රී දිලිත් ජයවීර (සර්වජන බලය) –
අපේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි බවක් නෑ කියලා ජනතා මතයක් තියෙනවා. මේ රටේ විශාල පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරනවා. ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.
විදේශ සේවයේ ඉන්න අයම දූත මණ්ඩල සේවයට යවන බව ජාතික ජනබලවේගය එදා කිව්වත් අද ඉන් පිටත 8 දෙනෙක් යවලා තියෙනවා. අගවිනිසුරුවරයා විශ්‍රාම ගිය වහාම ඔහුව තානාපති සේවයට යැව්වා. එය විදේශ සේවයට කැළලක්.
(පාර්ලිමේන්තුව යළි අද (20 දා) පෙරවරු 9.30ට රැස්වේ.)
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන