කොළඹ බලය ගත්තේ කුමන්ත්‍රණයකින්:
ඩීල් නෑ කියූ මාලිමාව දැන් ඩීල්මයි:
ඩීල් දේශපාලනය හරහා බලය ලබා නොගන්නා බව කියූ ජාතික ජන බලවේගය දැන් ඩීල් දේශපාලනයෙන් පළාත් පාලන ආයතනවල බලය ලබා ගනිමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
සමගි ජන බලවේගය පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (18 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය. ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
පළාත් පාලන ආයතනවල බහුතර බලය සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් විවිධ මත ගැටීම් පසුගිය දිනවල ඉදිරිපත් කළා. කෙසේ නමුත් බහුතරය යනු සියයට 60ක් ගත්ත පිරිස හෝ සියයට 40ක බලයක් ලබාගත් පිරිස නොවන බව සමගි ජනබලවේගය පැහැදිලි කර දුන්නා. ඒ වගේම සියයට 60ක බලය ලබාගත් පිරිසට පළාත් පාලන ආයතනයක සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා පත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එම අවස්ථාව අහිමි වෙන්නේ නැති බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් ඒ අවස්ථාවේ ජාතික ජනබලවේගය මෙය පිළිගැනීමට කටයුතු කළේ නෑ. කෙසේ නමුත් අවසානයේ ජාතික ජනබලවේගය එය පිළිගෙන තිබෙනවා. ජාතික ජනබලවේගයට බහුතර බලයක් නැති පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරගන්න අවශ්‍ය සභිකධුර ගණන සම්පූර්ණ කරගෙන පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවා ගෙන තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූලව ඔවුන් බලය තහවුරු කරගෙන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ. ඒ වගේම හොරුන් සමග කටයුතු කරන බවට විපක්ෂයට චෝදනා එල්ල කළ ජාතික ජනබලවේගයට අවසානයේ ඔවුන් හොරුන් යැයි කියු පිරිසත් එකතුකර ගෙන පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවන්න ක්‍රියාකර තිබෙනවා. උදාහරණයක් ලෙස චෙන්කල්ලඩි ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පිල්ලෙයාන්ගේ කණ්ඩායම සමග එකතුවෙලා බලය පිහිටුවන්න ජාතික ජනබලවේගය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණේ පිරිසත් සමග එකතුවෙලා ජාතික ජනබලවේගයේ කණ්ඩායම බලය පිහිටුවන්න කටයුතු කරලා තිබෙනවා. කෙසේ නමුත් අද ජාතික ජන බලවේගය මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය විසින් ලබාගත්තේ දේශපාලන කුමන්ත්‍රණයකින් බව හොඳින්ම පැහැදිලි වෙනවා. කොළඹ මහ නගර සභාවේ පුරපති තේරීමේ ඡන්දයේදී ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වනවාද නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීමට ගතවුණ කාලය පිළිබඳ සලකා බැලීමේදී යම්කිසි දේශපාලන කුමන්ත්‍රණයක් එම අස්ථාවේ සිදුවුණ බව හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ වගේම පුරපති තෝරාපත් කරගැනීම සඳහා ලබාදී තිබෙන මාර්ගෝපදේශ හදිසියේම චක්‍රලේඛනයක් මගින් වෙනස් කරගන්න ආණ්ඩුව කටයුතු කළේ ඇයි කියන ප්‍රශ්නයට ආණ්ඩුවෙන් වහාම පිළිතුරක් ලබාදිය යුතුයි.
කෙසේ නමුත් ඩීල් දේශපාලන හරහා බලය ලබානොගන්නා බව කියු ජාතික ජනබලවේගය දැන් සිදුකරමින් සිටින්නේ ඩීල් දේශපාලනය හරහා බලය ලබා ගැනීමයි. ඒ වගේම රටේ අනෙකුත් දේශපාලන පක්ෂ සිදුකළ දේශපාලය සිදුකරන්නේ නැති බවත් ජාතික ජනබලවේගය දිගින් දිගටම මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. නමුත් අද වනවිට ජාතික ජනබලවේගය බලය ලබාගැනීමට යම් ඩීල් දේශපාලනයක නිරත වී තිබෙනවා. කෙසේ නමුත් බලය ගැනීමට පොරකෑම සාධාරණයි. ඒ පිළිබඳව සමගි ජනබලවේගයට කිසිදු ගැටලුවක් නෑ. නමුත් ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමේදී අදාළ ක්‍රියා පටිපාටිය අනුව සහ නීතිය අනුව කටයුතු කර තිබෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.
ඒ වගේම පළාත් පාලන ආයතනයක සියයට 50ක බලයක් නොමැති අවස්ථාවක නගරාධිපති හෝ සභාපති තෝරා පත්කර ගැනීමේ ඡන්දය රහසිගතවද විවෘතවද පැවැත්විය යුත්තේ යන්න සභිකයින් විසින් තීරණය කළ යුතු බව පළාත් පාලන පනතේ සඳහන් වෙනවා. නමුත් සභිකයන්ගේ එම තීරණය රහසිගතවද විවෘතවද පැවැත්විය යුත්තේ කියලා පනතේ සඳහන් වන්නේ නෑ. කෙසේ හෝ එවැනි ප්‍රශ්නයක් මතුවුණහොත් ඒ සඳහා විසඳුමක් ලබාගන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයක් නිකුත් කරලා තිබෙන්නේ. ඒ වගේම පළාත් පාලන පනතේ අඩුපාඩු තිබෙනවා නම් ඒ සඳහා තමයි මාර්ගෝපදේශයක් නිකුත් කරන්නේ.