වැලිගම හෝටලයකට (ඩබ්ලිව් 15) වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු රාජකාරි ලේඛනයක් වෙනස් කිරීමට තමාට උපදෙස් ලැබුණු බවත්, එය කිසියම් දෙයක් යටපත් කිරීමේ අරමුණින් සිදු වුවක් බවට තමනට හැඟීයන බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාගේ පෞද්ගලික සහකාර උප පොලිස් පරීක්‍ෂක සුදත් ධර්මශ්‍රී පුල්ලෙපෙරුම මහතා පිළිගත්තේය.
ඒ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනි.
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කරන පරීක්‍ෂණ කමිටුව පෙරේදා (16 දා) පස්වැනි දිනටත් රැස්වූ අවස්ථාවේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණි ජයසේකර මහතා සාක්‍ෂි විමසීම සඳහා පරීක්‍ෂණ කමිටුව හමුවට කැඳවනු ලැබීය.
අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමේ රාත්‍රි කාර්ය භාර නිලධාරියා ලෙස රාජකාරියේ නිරතව සිට ඇත.
හරස් ප්‍රශ්න විමසීම අරඹමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ වෙඩි තැබීමක් කර කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථයක් පලා යන බවට තොරතුරු ලැබුණේ කුමන වේලාවක ද යන්නය.
අලුයම 2.43ට අදාළ පණිවුඩය ලැබුණ බව උප පොලිස් පරීක්‍ෂක ගාමිණි ජයසේකර මහතා පිළිතුරු දෙමින් කීය.
උප පොලිස් පරීක්‍ෂක ගාමිණි ජයසේකර මහතා
එම අවස්ථාවේ මම රාජකාරියේ යෙදී සිටියේ කොළඹින් පැමිණෙන වාහන පිටව යන ස්ථානයේ. ඒ වෙලාවේ අනෙක් පැත්තේ සිටි නිලධාරීන් අදාළ සැක කටයුතු වාහනය පැමිණි බව මට දැනුම් දුන්නා. ඒ අනුව මමත් අදාළ ස්ථානයට පැමිණියා. ස්වාමිනි, මම යද්දි වාහනයේ වීදුරුව කැඩිලා තියෙනවා මම දැක්කා. එක් අයෙක් වාහනයෙන් බැහැලා හිටියා. ඔහු මට කිව්වා මචං මම අයි පී නිශාන්ත ඩියුටි එකකට ආවා. අද පොඩි මිස්ටේක් එකක් වුණා කොළඹට යන්න ඕනෙ කියලා.
ස්වාමිනි මම යවන්න බැහැ කිව්වා. අධිවේගී මාර්ග භාර අධ්‍යක්‍ෂවරයාගෙන් අහලා තමයි කරන්න ඕනෙ කියලා කිව්වා. අනතුරුව මම අධ්‍යක්‍ෂවරයාගෙන් විමසූ විට කිව්වා කිසිම අවස්ථාවක වාහන යවන්න එපා කියලා. විනාඩි 20කින් වගේ වැලිගම ඕ. අයි. සී. ආවා. එස්. ටී. එෆ්. බයිසිකල් කණ්ඩායමකුත් ආවා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
වාහන තුළ තුවාලකරුවකු සිටින බව ඔහු ප්‍රකාශ කළාද?
උප පොලිස් පරීක්‍ෂක ගාමිණි මහතා
නැහැ.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
වාහනයේ සිටි පුද්ගලයන් කවුරුන් හෝ සමග දුරකථනයෙන් සම්බන්ධ වුණාද?
උප පොලිස් පරීක්‍ෂක ගාමිණි මහතා
ඔව් ස්වාමිනි, මේ කේස් එක ගැන අයි. පී, මහත්තයා දන්නවා කියලා නිශාන්ත මහත්තයා මට කිව්වා. ඒ වගේම, ස්වාමිනි, වෑන් එක ඇතුළේ බිම කෙනෙක් වැතිරිලා ඉන්නවා කියලා අපේ නිලධාරියෙක් දැක්කා. ඒ අනුව අපි ගිලන් රථයක් ගෙන්වා ගත්තා. ඇතුළේ වැතිරිලා හිටපු පුද්ගලයා කළුපාට ජැකට් එකක් ඇඳගෙන හිටියේ. එයාව එළියට ගද්දි අපි දැක්කා ජැකට් එක අස්සෙන් ලේ වැක්කෙරෙනවා. ඒ වගේම, තවත් කෙනෙක් නොන්ඩි ගහනවාත් අපි දැක්කා.
ඒ අනුව අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණි ජයසේකර මහතාගෙන් සාක්‍ෂි විමසීම අවසන් කෙරුනු අතර, අනතුරුව පරීක්‍ෂණ කමිටුව හමුවේ සාක්‍ෂි විමසීම සඳහා කැඳවූයේ කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්‍ෂවරයාගේ පුද්ගලික සහකාර උප පොලිස් පරීක්‍ෂක සුදත් ධර්මශ්‍රී පුල්ලෙපෙරුම මහතාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව
ඔබගේ ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළේ කවුරුන්ද?
උප පොලිස් පරීක්‍ෂක සුදත් ධර්මශ්‍රී මහතා
කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ නෙවිල් ද සිල්වා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්‍ෂවරයාට යවන ලේඛනයක් නැවත සැකසුවාද?
උප පොලිස් පරීක්‍ෂක සුදත් ධර්මශ්‍රී මහතා
ස්වාමිනි, කොළඹ අපරාධ කොට්ඨාසයේ ඇති ඉන්වර්ස් සහ අවුට්වර්ස් ලේඛනයේ 2023/12/29 වැනිදා තිබූ දත්තයන් ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනි දින මාතර යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439ට අදාළ දත්ත එකතු කළා. එය ටිපෙක්ස් කර ඇති නිසා එම ලේඛනය නැවත සකස් කරන ලෙසට උපදෙස් දුන්නා.
සභාපති විනිසුරු ප්‍රීති පද්මන් මහතා –
මෙම වෙනස් කිරීමේ බරපතළකම ඔබට තේරෙනවාද?
උප පොලිස් පරීක්‍ෂක සුදත් ධර්මශ්‍රී මහතා
ඔව් ස්වාමිනි වැඩබලන අධ්‍යක්‍ෂ නෙවිල් ද සිල්වා මහත්තයා කිව්ව නිසා තමයි වෙනස් කළේ. දැන් මේක බරපතළ සිද්ධියක් නිසා වැරදි කියලා තේරෙනවා. මොකක් හරි යටපත් කරන්න මේක කරලා තියෙනවා කියලාත් දැන් තේරෙනවා. අලුත් පොත සැකසීමට සති දෙකක කාලයක් ගියා. අලුත් පොත සෑදීමෙන් පස්සෙ පරණ පොත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වාට භාර දුන්නා. ඉන්පසු මම ඒ ලේඛනය දැක්කේ නැහැ. එය කාර්යාලයේ තිබුණේ නැහැ.