කින්නියා – නෙළුව – මාවනැල්ල සජබට
හපුතලේ – කුරුණෑගල – දෙහිඕවිට මාලිමාවට
දෙහිඕවිටදී කුසපත් ඇදීමක්
දිවයිනේ ප්‍රාදේශීය සභා හා නගර සභා කීපයක ඊයේ (17 දා) බලය පිහිටුවීම සිදුවිය. ඒ අනුව ඊයේ පැවැති සභා තුනක බලය ජාතික ජන බලවේගයට ද තවත් සභා 3ක බලය සමගි ජන බලවේගයට ද හිමි විය.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර කැමැත්ත ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාන්දි මහතා කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ඊයේ (17 දා) තෝරා පත්කරගන්නා ලදී.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ඊයේ (17 දා) හැකි විය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් චන්දන මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඊයේ තෝරා පත්කරගන්නා ලදී.
හපුතලේ ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාව දිනාගත්තේය. ඒ අනුව ඊයේ එම සභාවේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 11ක් ද සමගි ජන බලවේගයට ඡන්ද 9ක් ද හිමිවිය. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සුදර්ශන ලියනගේ තෝරා පත්කරගන්නා ලදී.
මේ අතර කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස හිටපු සහකාර කම්කරු කොමසාරිස්වරයකු වූ වෘත්තියෙන් නීතිඥ ආනන්ද සහබන්දු මහතා රහස් ඡන්දයෙන් ජයගෙන පත් විය. වැඩි ඡන්ද දෙකක් සහිතව ඡන්ද 12ක් ඔහුට හිමි විය. ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරයි.
සමගි ජන බලවේගයෙන් එයට තරග කළ සුමේද අරුණශාන්ත මහතා ඡන්ද 10ක් හිමි කර ගත්තේය.
නියෝජ්‍ය නගරාධිපති ලෙස සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය නියෝජනය කරමින් විපක්ෂ කණ්ඩායමේ සිටි අශාර්දීන් මොයිනුදීන් මහතා රහස් ඡන්දයෙන් පත්විය. ඔහු ඡන්ද 12ක් හිමි කර ගත්තේය.
වයඹ පළාත් පාලන කොමසාරිස් එච්. එම්. සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාගැනීමේ රහස් ඡන්දය මෙදින සිදු කෙරිණි.
මේ අතර දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ බලය ද ජාතික ජන බලවේගය (මාලිමාව) ඊයේ හිමිකරගත්තේය. මෙහිදී රහස් ඡන්දයක් පැවැති අතර එහිදී සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එල්. එල්. සමන්සිරි වීරසිංහ මහතා ද, උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඩී. ඩබ්. සමරවීර මහතා ද තේරී පත්විය.
මෙහිදී සභාපති ධුරය සඳහා තරග කළ ජාතික ජන බලවේගයෙන් (මාලිමාව) තරග කළ සභිකයා සහ පොදුජන පෙරමුණෙන් තරග කළ සභිකයා සම ඡන්ද 17 බැගින් ලබාගෙන තිබේ. මේ නිසා කුසපත් ඇදීමකට ගොස් තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගයෙන් තරග කළ සභිකයා ජයග්‍රහණය කර සභාපති ධුරයට පත්විය.
එමෙන්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමි විය. මෙහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා පත්කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 21ක් ලබාගනිමින් පුතුල උඩගම මහතා ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරී පත්විය. මොහු ප්‍රාදේශීය සභාවේ සිටින පළපුරුදුම මන්ත්‍රීවරයකු ද වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, හපුතලේ – නයනානන්ද බුවනෙක, කුරුණෑගල – ආර්. එම්. ඩබ්. බණ්ඩාර, රුවන්වැල්ල – විමලරත්න සමරක්කොඩි, අවිස්සාවේල්ල – එල්. වී. සමරසිංහ, මාවනැල්ල – යූ. ආර්. ජයන්ත සේනානායක