ගුවන් මගීන් ඇතුළු 274 දෙනකුට මරු කැඳවමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේදී කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ එම අනතුර සිදු වී ඊයේ (26දා) දිනයට සති දෙකක කාලයක් ගත වී ඇතත් එම අනතුර සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණයට නායකත්වය දීම සඳහා මෙතෙක් ප්‍රධාන විමර්ශන නිලධාරියකු පත් කර නොමැති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මෙසේ අදාළ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් කණ්ඩායමක් පත් කර ඇති බව මුලින් පවසා තිබුණද එම කණ්ඩායමේ නායකත්වයට ප්‍රධාන විමර්ශන නිලධාරියකු පත් නොකිරීම අඩුපාඩුවක් බවත්, මේ නිසා සිදු කෙරෙන විමර්ශනයේ කාර්යක්ෂමතාවය හා විශ්වසනීයත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පැනනඟින බව ඉන්දියාවේ පළවන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත විසින් වාර්තා කර තිබේ. ඉන්දීය රජයද එසේ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන විමර්ශන නිලධාරියකු පත් කිරීම පිළිබඳව කිසිදු නියෝගයක් සිදු කර නොමැති බව එම පුවත්පත විසින් සඳහන් කර තිබේ.
මේ අතර අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ නීතිරීතිවලට අනුව ගුවන් යානා අනතුරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන විමර්ශන නිලධාරියකු කඩිනමින් පත් කළ යුතුවන අතර යම් ගුවන් අනතුරක් සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් එම සංවිධානයට වගකියනු ලබන්නේ ප්‍රධාන විමර්ශන නිලධාරියාය. තවද ගුවන් යානා අනතුරක් සිදු වී දින 30ක් ඇතුළතදී විමර්ශන කණ්ඩායම සිය විමර්ශනයේ මූලික වාර්තාව ඉදිරිපත් කළ යුතු බවද අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.