
මෙවර අපේ චාරිකාව, “සංචාරේ” සුන්දර ත්‍රිකුණාමලයේ කින්නියා-මූතූර් සහ “මාබල් බීච්” දක්වා ය. මීට දෙසතියකට කළින් ලග්ගල “කිරි අම්මා උල්පත” ට ගිය අපි, අනතුරුව ඇළහැර-මින්නේරිය යෝධ ඇළ දිගේ ගොස් ගිරිතලේ දක්වා ගිය ගමන ගැන කතා කළෙමු. අනතුරුව එදිනම මින්නේරිය-පොළොන්නරුව ඔස්සේ “සෝමාවතිය” විහාරස්ථානය දක්වා ද ගමන් කළෙමු. ඒ යන විට හිරු අවරට හැරී තිබිණි. වෙසක් සතිය ඒ වූ බැවින්, නොසෑහෙන සෙනඟක තදබදය සෝමාවතිය පුරාම පැවති අතර, කිලෝමීටර් 30 ක් පමණ වූ පොළොන්නරුව රෝහල අසළින් සෝමාවතිය දක්වා ගමන් කරන තඹාල- සුංගාවිල-සෝමාවතිය මාර්ගය ද එකම වාහන පෙරහැරකින් සමන්විත විය. මේ නිසාම සෝමාවතිය අභය භූමියේ සොබා සෞන්දර්ය විඳගැනීම සිහිනයක් බවට පත් විය. ඒ අඩුව මකාගන්නට තවත් දවසක සෝමාවතිය ජාතික උද්‍යානයට සහ එම පුණ්‍ය භූමියට යන බලාපොරොත්තුව ඇතිව හැරී ආවත්, මීළඟට අප තීන්දු කළේ ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමට ය.
ඒ අනුව පසුදා හිරු නැඟුණු උදයේ හබරණ-ත්‍රිකුණාමලය ….. මාර්ගයෙන් අපි ත්‍රිකුණාමලය බලා ගමන් ආරම්භ කළේ වටිනා කියන තැන් රැසක් පසුකරමින් සහ ඒවායේ පහසද ලබමිනි. හබරණ නගරයෙන් ගමන ආරම්භ කළ වහාම දුම්රිය හරස් මාර්ගය පසු කළ විට අපට හමුවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන ඔවුන්ගේ ප්‍රථම ජාතික වන උද්‍යානයයි. ඒ හබරණ සෆාරි උද්‍යානයයි. මාර්ගයේ වම් පසින් හමුවන මෙම උද්‍යානයේ මූලස්ථානයෙන් අවසරපත් මිලදී ගෙන එයට ඇතුළු විය හැකිය. ඒ සඳහා එහි ඇති පෞද්ගලික සෆාරි ජීප් රථයකින් සේවය සලසාගත හැකිය. මීට පෙර මෙම උද්‍යානයේ සොබා සිරිය අත්විඳ ඇති බැවින් මෙවර අප එහි සංචාරය කළේ නැත.

හබරණ සෆාරි උද්‍යානය ප්‍රකටව ඇත්තේ වන අලින් නැරඹීම සඳහා ය. මෙහි “කලකට” යහමින් වන අලි-ඇතුන් ගැවසේ. කලකට යන්නෙන් අප අදහස් කළේ අනෙක් කාලයට මෙහි වන අලින් දැකගැනීම උගහට බැවිනි. නොහොත්, සෆාරි උද්‍යානයට වාරයක් සහ අවරයක් තිබේ. එනිසා වාරය බලා මෙහි පැමිණීම සුදුසුය. ඊට හේතු ලෙස අප කියන්නේ පුළුල් වපසරියක සංක්‍රමණය වන වන අලින් මින්නේරිය-කවුඩුල්ල-හබරණ ආදී වන මංකඩ ඔස්සේ ගමන් කරමින් රැඳී සිටින අතර, මින්නේරිය-ගිරිතලේ-කවුඩුල්ල වැනි මහා ජලාශවල වතුර අඩුවී පිටිය වැඩිවන කාලයට එහි හටගන්නා නිල්ල (තෘණ පිටිය) අනුභව කරන්නට දෙතුන් සියයක වන අලි-ඇත්තු මේ ක්ෂේම භූමි කිහිපයටම පැමිණෙති. පැමිණ දින ගණන්, සති ගණන් මෙහි කාලය ගත කරති. එකලට වන අලින්ගේ තෝතැන්නක් බවට පත්වන කවුඩුල්ල-මින්නේරිය වැව් පිටි නිසා හබරණ සෆාරි උද්‍යානය වන අලින්ගෙන් හිස් වේ. එකලට එනම්, ජුලි-අගෝස්තු-සැප්තැම්බර් සාමන්‍යයෙන් එහි අලින් දැකගන්නට නැත. මේ නිසා එහි වාරය යනු වැව් කටමට්ටමට පිරෙන දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරි-මාර්තු කාලයයි. එකලට උන් බුදින්නට එන්නේ හබරණ උයන වෙත ය.

මෙවන් අසිරිමත් කතා මැද, අසිරිමත් වන වදුල පසුකරමින් අනතුරුව අප එන්නේ හතරැස් කොටුව, පසුකර කන්තලේ දෙසටය. කන්තලේ ද අපූරු නැවතුම්පළකි. අපූරු නැරඹුම් ස්ථානයකි. තෙරක් නොපෙණෙන ක්ෂිතිජ ඉම දකින්නට කන්තලේ වැව් බැම්ම කියාපු තැනකි. දෙවැනි අග්බෝ ශ්‍රීමතාණන් නොහොත් නරේන්ද්‍රයාණන් විසින් කරවන්නට යෙදුණු මේ මහා සාගරය බඳු කන්තලේ වැවේ බැම්ම මත ගිමන් නිවනා කල, එක් පසෙකින් නිල්වන් කෙත්වතු යායද, අනෙක් පසින් සාගරය බඳු වැව් තලය පිසගෙන එන සිහිල් පවන් රැළි අමුතුම ලොවකට අපව කැඳවාගෙන යයි. ඒ එම පරිසරයෙන් වෙන්වන්නට අපට සිත් නොදෙමිනි. මෙවන් අසිරියක් විඳිමින් අපි තවත් ඉදිරියට ඇදෙමින් තඹලගමුව, පාලම්පටාර්, මන්කි බ්‍රිජ් පසුකර ළඟාවන්නේ ත්‍රිකුණාමලය මුව විටට ය. ඒ නම්, 4 කණුවට ආසන්නව පිහිටා ඇති චීන වරාය මංසන්ධියට ය.

චීන වරාය මංසන්ධිය නොහොත් චයිනා-බේ හන්දිය ඔස්සේ දකුණු පසට කින්නියා-මුතූර් පාරේ ගමන් කළ විට කිලෝමීටර් 2-3 කින් චයිනා-බේ නොහොත් චීන වරාය මුණගැසේ. මෙහි ධීවර වරාය පිහිටා ඇත. එසේම, මෙම ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලය ගුවන් අංගනය (තොටුපළ), ඇතුළු රජයේ වැදගත් ස්ථාන කිහිපයක්ම පිහිටා ඇත. ඒ පසුකර මඳ දුරක් ගිය විට හමුවන්නේ සුප්‍රකට “කින්නියා” පාලමයි. එනම් කින්නියාව යි. ශ්‍රී ලංකාවේ දිගම පාළම ලෙස කලක් නම් දරා තිබුණු මෙම පාලම ඉදිවන්නේ 30 වසරක යුද්ධයෙන් පසු, ගොඩනැඟෙන සංවර්ධනයේදී ය. එතෙක් ත්‍රිකුණාමලය සහ කින්නියා-මුතුර්-තෝපූර්-සාම්පූර් ප්‍රදේශවලට සහ එතැනින් ඔබ්බට සේරුනුවර ප්‍රදේශ දක්වා මගීන් එගොඩ කරන ලද්දේ ත්‍රිකුණාමල ජැටියෙන් පටන් ගන්නා කුඩා නැව් සේවයක් ඔස්සේ ය. දන්නා පරිදි එම නැව් සේවාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වූවකි. එනමුත් පාළම ඉදිවීමෙන් පසු ප්‍රදේශවාසීන් විඳි ඒ දුෂ්කරතාවට විරාමය වැටිණි. දැන් ඉතා හොඳ බස්රථ සේවාවක් මේ ප්‍රදේශවලට ඇත.
එසේම, මහවැලි ගංගාව තම දිගු දිවි ගමන නිමා කරමින් සයුර සිපගන්නේ ත්‍රිකුණාමලය කලපුව තුළිනි. අතු බෙදී මෙසේ ගමන් ගන්නා විට ඒ සෑම අතු ගංගාවක් හරහාම යෑමට එකල භාවිත කරන ලද්දේ “පාලම් පාරු” ය. එනම් කුඩා පාළමක් වනු යාත්‍රාවක් කම්බියක ආධාරයෙන් දෙපසට ඇද යාත්‍රාව අතින් හෝ යාන්ත්‍රිකව ගමන් කරවා ඒ මතින් මගීන් සහ වාහන පවා එගොඩ කිරීමෙනි. තනි දොර සහිත මගී බස් රථ පවා මේවාට පටවා එගොඩ – මෙගොඩ කිරීම එකල මෙහි ජනතාවගේ දෛනික අංගයක් වී තිබිණි. එනමුත් යුද්ධයෙන් පසු සංවර්ධනයට පිං සිදුවන්නට ඒ සියලුම පාලම් පාරු මාර්ගවලට පාලම් ඉදිකෙරිණි. අද එහි යනෙනා බොහෝ දෙනකු ඒ අතීතය නොදන්නා නමුත්, ඒ අමිහිරි-කටුක අතීතය අත්විඳි අපට ඒවා හොඳින් මතක තිබේ.

මෙවන් කරුණු කාරනා මැද කින්නියා වට ගිය අප, පළමුව සිදුකරන ලද්දේ කින්නියා පාළම පෙණෙන මානයෙන් වම්පස කලපු ඉස්මත්තට වැටී ඇති මාර්ගයෙන් සුප්‍රකට “මාබල් බීච්” බලා ගමන් කිරීමය. අතිශය අලංකාර පතුලක් සහිත, නොගැඹුරු, වැලි මිස මඩ නැති, හිරු එළියට “මාබල්” වැනි අපූරු රටා මවන මෙම වෙරළ තීරය ත්‍රිකුණාමලය වරයේම නිරිතදිග කොටසයි. මෙතැනට වාරයට පැමිණෙන නැව් අතේ දුරට පෙනේ. එසේම, දිය කෙළියේ යෙදෙන්නට මේ තරම් ගැළපෙන වෙරළක් තවත් රටේ නැත. නොගැඹුරු මුහුදේ මීටර් 100 ක් පමණ වුව ඇවිද යන්නට, දිය කෙළින්නට කැමැත්තෝ මෙහි ඇදී එන අතර, මේ වෙරළ තීරයට සංචාරකයන්ගෙන් අඩුවක් නැත. “සංචාරේ” අපිද, මෙහි පහස ඉතා හොඳින් සහ කැමැත්තෙන් විඳගත් අතර, අනතුරුව කින්නියා පාලම දිගේ මුතූර්-තෝපූර්-සාම්පූර් යන්නටද අමතක නොකළෙමු. තනිකරම මත්ස්‍ය කර්මාන්තයේ නියුතු ජනයා වෙසෙන මෙහි, මාළු අලෙවිසල්, කරවල කඩ, දැල් අදින කණ්ඩායම්, ඔරු සහ බෝට්ටු ඇදෙන දර්ශන, වරාය, නැව්, දූපත්, ඈතින් පෙණෙන ප්‍රදීපාගාර යනාදියද, ජනයාගෙන් අඩු සුන්දර වෙරළ තීරයක්ද දැකගත හැකිය. මෙවන් වින්දනාත්මක අත්දැකීමක් ලබමින් අපි ත්‍රිකුණාමලය කින්නියා-මුතූර්- තෝපූර් – සාම්පූර් සංචාරය අවසන් කළේ සේරුනුවරට ළඟා වෙමිනි.

තවත් දවසක “සේරුවාවිල” විහාරස්ථානයද වන්දනා මාන කිරීමට “සංචාරේ” අපි අදහස් කරන අතර, ඒ බොහෝ විට
“සෝමාවතිය” නැවත නමස්කාර කර එන ගමනේදී වුව විය හැකිය.
සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
Heritage Lanka Creations / FB – Travel Sri Lanka – සංචාරේ
