ලක්ෂ 140ක අල්ලස් පරීක්ෂණය මග නවතී
රිමාන්ඩ් රැඳවියාගෙන් බන්ධනාගාර ලොක්කෙක්ට මෝටර් රථයක් තෑගි
‘මෝරා’ වාට්ටුවකින් මසකට ලක්ෂ 20ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වත්කම් සෙවීමේ පරීක්ෂණ මේ වනවිට රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ. ඒ අතරේ දිවයිනේ ඇතැම් බන්ධනාගාර කරා පැමිණි රහස් පොලිස් කණ්ඩායම් ගතවූ කාලයේදී ජනාධිපති සමාව ලබා පිටවී ගිය සිරකරුවන්ට අයත් ලිපිගොනු සිය භාරයට ගෙන ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා නිලධාරීන් සියලු දෙනා දූෂිතයින් සේ දැකීම මුළුමනින්ම අප පිටුදකිමු. දහසක් අඩුපාඩු මැද්දේ මෙම නිලධාරීන් ගල් බිත්තිවලින් වටවූ පරිසර තුළ සිය රාජකාරි කටයුතු මහත් කැපවීමෙන් යුතුව සිදුකරගෙන යති. ඔවුන් සිය රාජකාරිය සමග අත්විඳින දුක්ගැහැට අප්‍රමාණය. මුළුමනින්ම බාහිර ලෝකයෙන් වෙන්කළ පරිසරයක් තුළ රාජකාරි සිදුකර ගෙන යන විට දූෂණ, අක්‍රමිකතා සිදුවීම නොවැළැක්විය හැක. ලෝකයේ ඕනෑම බන්ධනාගාරයක තත්ත්වය එයයි. දූෂිත නිලධාරින් අතලොස්සක් දෙනා සිදුකරන ඇතැම් වංචනික ක්‍රියා හේතුවෙන් සියලු නිලධාරීන් පරිභවයට ලක්වීම මේ වනවිට සමස්ත යහපත් නිලධාරීන්ගේ හදවත් සසල කර තිබේ. එබැවින් පවතින දූෂණ වළකා යහපත් සේවාවක් සිරකරුවන්ට සැලසීම වෙනුවෙන් ඕනෑම පරීක්ෂණයක් හමුවේ තොරතුරු ලබාදීමට බන්ධනාගාර සේවයේ නිරත ඉහළ නිලධාරීන් මෙන්ම එහි ‘පොඩ්ඩෝ’ ද සූදානමින් සිටිති.
රහස් පොලිසිය සිදුකළ මූලික විමර්ෂණවලින් මේ වනවිට පෙනී ගොස් ඇත්තේ කිසිම ලියවිල්ලක් නැතිව ගතවූ කාලයේදී සිරුකරුවන් 30ක් නිදහස් කොට යවා ඇති බවයි. ඒ අතරේ තවත් හාස්‍යජනක තොරතුරක් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ සෙසු මැති ඇමැතිවරුන්ගේ සිනහ හඬ මධ්‍යයේය. එනම් ජනාධිපති සමාව හිමිවූ 37 දෙනෙක් නිදහස් කර යවා නැති බවයි. සමාව හිමි අය ගෙදර නොයවා, සමාව නොලද සිරකරුවන් ගෙදර යැවීමේ අපූරු රාජ්‍ය සේවය ගැන තොරතුරු සොයා ගෙන යන කළ “ඇම්බැට්ටයාගේ කසල කූඩය” යන පිරුළ මතකයට නැගින. වංක ක්‍රියා සෝදිසි කරගෙන යනකොට එක දිගට වංක ක්‍රියා මතු වන්නට පටන් ගත්තේ කසළ කූඩයකින් කුණු මතුවන්නා සේය.
බන්ධනාගාරයේ ඉහළම නිලධාරියකුට එරෙහිව මීට පෙරද දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කෙරිණ. ඒ, එම සැකකරුගේ ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 140 පමණ මුදලක් ඔහු උපයාගත් ආකාරය සම්බන්ධයෙනි. එහෙත් හිටිහැටියේ එම පරීක්ෂණය අතරමග නැවතින. ඒ, මෙම පරීක්ෂණය නවතන ලෙසට ඉහළින් කළ බලපෑම් හේතුවෙනි. එම පරීක්ෂණය යළි ආරම්භ විය යුතු යැයි අල්ලසට, දූෂණයට සහ වංචා වැරැදිවලට එරෙහි බන්ධනාගාර නිලධාරීන්ගේ වර්තමාන ඉල්ලීම වී තිබේ.
රට පුරා අපරාධ රැල්ලක් වරින්වර අඩු, වැඩි වෙමින් පවතී. ටී.56 ගිනි අවිවලින් සිදුකළ අපරාධ වැලක් පසුගිය දිනවල එක දිගට අසන්නට ලැබිණ. සංවිධානාත්මක හා සන්නද්ධ අපරාධ කල්ලි රට පුරා සැරිසරන්නේ රටේ පොලිසියක්, නීතියක්, අධිකරණයෙන් පනවන දඬුවම් ක්‍රමයක් නැති ගාණටය. නැතිනම් එම නීති ආයතන ‘අපේ පාට්ස්…’ වැනි සැහැල්ලුවෙනි.
මෙය බියකරු තත්ත්වයකි. අපරාධ ලෝකය සමග ‘සෙට්’ වෙලා ‘ගේම්’ දෙන ඇතැම් දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්, කූට ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ දූෂිත ක්‍රියාවන්ගෙන් රුපියල් කෝටි ගණන් උපයන ජාවාරම්කාරයන්, බන්ධනාගාරය සමග පවත්වන සම්බන්ධකම් නෑනා සහ මස්සිනා සම්බන්ධයටත් වඩා ප්‍රබලය. ‘ප්‍රේමණීය’යි. බන්ධනාගාරයේ සුළුතරයක් වන නිලධාරි පැලැන්තියට රිසිසේ දූෂිත ක්‍රියාවන්හි යෙදෙන්නට ‘වෙස්වළාගත්’ ආශීර්වාදයක් වූයේ රජයේ තවත් ආයතනයකි. එම ආශීර්වාදය නමැති දැවැන්ත බූවල්ලා බන්ධනාගාර පද්ධතියම වෙළාගෙන සිටී. අතලොස්සක් වූ දූෂිත නිලධාරීන්ගෙන් පෝෂණය වෙයි. එය බන්ධනාගාරය ඝන, දූෂිත දුමාරයකින් වෙළී යන්නට ප්‍රධාන කාරණාවක් වූයේය. මොන අපරාධයක් කළත් කිසි කලෙක ඒවා හෙළිදරව් නොවන බවට තදබල විශ්වාසයක් ඇතැම් බන්ධනාගාර නිලධාරීන් තුළ ගොඩනැගුනේ නිරතුරුව ‘බූවල්ලා’ විසින් තමන් සුරක්ෂිත කරන බවට ‘දේව විශ්වාසයක්’ වැනි ඇදහිල්ලක් පැවැති බැවිනි.
ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට නියම වූ ගෝමස් (අන්වර්ත නාමයකි) නමැති සිරකරුවා සිරගෙදරින් පැන්නූ ආකාරය මෙහි එක් නිදසුනකි. එම සැලසුම චිත්‍රපට තිරනාටකයටත් වඩා හොඳින් සකස් වී තිබිණ. සිරකරුවා සිරදඬුවම් විඳිමින් පසුවූයේ දකුණු පළාතේ බන්ධනාගාරයකය. ඔහුට විරුද්ධව තවත් මිනීමැරුම් නඩුවක් සහ මූල්‍ය වංචා නඩු 41ක් විභාග වෙමින් තිබිණ. සිරකරුවා සිරගෙදරින් ‘පන්නා’ ගැනීමේ අවශ්‍යතාව දේශපාලනඥයන් කීප දෙනෙක් තුළ තදින් පැවතින. මන්ද මොහුට එරෙහි ඉදිරි නඩු විභාග තමන්ට ද අවාසිදායක අයුරින් සිදුවිය හැකි බවක් ඉඳුරා ඔවුන් දැන සිටි බැවින්ය. මේ අතරේ මෙම සිරකරුවා සිරගෙදරින් පන්නා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවක් එහි සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබිණ. එබැවින් සිරකරුවා පිළිබඳ දැඩි සෙවිල්ලකින් මෙන්ම හෙතෙම විශේෂ ආරක්ෂාව යටතේ තැබීමට ද එම නිලධාරියා පියවර ගත්තේය.
සිරකරුවන් පන්නන ජේලර්ලා
දකුණේ බන්ධනාගාරයෙන් සිරකරුවා පන්නා ගැනීම අපහසු බවක් පෙනුන බැවින් වැලිකඩ බන්ධනාගාරයේ සහය ලබා ගැනීමට තීරණය කෙරිණ. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් කීප දෙනාගේ අනුදැනුම ඇතිව ‘සිරකරුවා පැන්න වීමේ’ සැලසුම සකස් කිරීමේ මෙහෙයුම වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් භාරව සිටි හිටපු ප්‍රධාන ජේලර්වරයකුට පැවරින.
ඒ අනුව පළමු මෙහෙයුම ක්‍රියාවට නැංවින. දකුණේ බන්ධනාගාරයේ අධි ආරක්ෂාව යටතේ පසුවූ මෙම සිරකරුවා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර ගෙන්වා ගත්තේය. ඒ, ඔහු කොළඹ ජාතික රෝහලේ විශේෂ සායන කීපයකට ඉදිරිපත් කළයුතු බවක් දැනුම් දෙමින්ය. එම අවස්ථාවේ දකණේ බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා වැලිකඩ බන්ධනාගාරයේ උසස් නිලධාරින්ට ලිපියක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මෙම සිරකරුවා පැනයෑමට හෝ පැහැර ගෙන යෑමට විශේෂ සැලසුමක් ඇති බවත්, ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දෙන්නට කටයුතු කරන ලෙසත්ය.
එවැනි විශේෂ ගණයේ සිරකරුවෙක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන විට බන්ධනාගාර නීති අනුව අනුගමනය කෙරෙන ආරක්ෂක පියවර කීපයක් වෙයි. සිරකරුවා සමග ජේලර්වරයෙක්, සැරයන්වරයෙක්, සන්නද්ධ නියාමකවරුන් දෙදෙනෙක් සහ අත්මාංචු භාරව නියාමකවරුන් දෙදෙනෙක් යෙදවීම එම නීති දාමයයි.
සිද්ධිය වූ දිනයේ දූෂිත නිලධාරින් කීප දෙනා නීතිය ‘දෙකට’ නැව්වේය. ඒ මෙම සිරකරුවා සමග තවත් එබඳුම විශේෂ ගණයේ සිරකරුවන් 08 දෙනෙක් ඇතුළු සිරකරුවන් 23 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ විවිධ සායන සඳහා සම්බන්ධ කැර වීමෙනි. මෙම සිරකරුවන් 23 දෙනා සායන 15ක් සඳහා යොමුකළ යුතුව තිබිණ. එහෙත් සිරකරුවන්ගේ ආරක්ෂාවට යෙදවූයේ නිලධාරීන් 12 දෙනෙකි. වැඩි සිරකරු සංඛ්‍යාවක්, වැඩි සායන ප්‍රමාණයක් ආරක්ෂාවට අඩු නිලධාරීන් ප්‍රමාණයක් යොදවා පලායෑමට සූදානම් කළ සිරකරුවාගේ ආරක්ෂාව උපක්‍රමිකව දියාරු කළේය.
ජාතික රෝහල පුරා විසිරී තිබෙන විවිධ සායන 15ක් සඳහා නියාමකවරුන් විසින් සිරකරුවන් රැගෙන ගියහ. අදාළ සිරකරුවාගේ ආරක්ෂාව සුළු මොහොතකින් බිඳ වැටිණ. එම අවස්ථාවේ මෙම සිරකරුවා ඇතුළු සාමාන්‍ය රෝගීන් ගැවසුන අදාළ සායනය පිහිටි රෝහල් කොරිඩෝවේ සිටි සිරකරුවාගේ හිතවතුන් කීප දෙනා ඉතා පහසුවෙන් සිරකරු රෝහල් බිමට රැගෙන ආහ. මිදුලේ නවතා තිබූ රථයකට සිරකරුවා නංවාගෙන පලා ගියහ. ඒ වනවිටත් මෙම සිරකරුවාට සිය දෑතට දමා තිබෙන මංචු කුට්ටම ගලවා ගන්නට ඕනෑ කරන යතුර ලැබී තිබිණ. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් භාරව සිටි ජේලර්වරයා වෙතින්ය. එපමණක් ද නොව, සිද්ධියට දින දෙකකට පමණ පෙර දිනෙක මෙම සිරකරුවා සිය කාර්යාලයට කැඳවා සායන දිනය දැනුම් දෙමින් තමන් රැගෙන යෑමට රථයක් සමග කීප දෙනෙක් කොළඹ ජාතික රෝහලට එවන්නැයි යන පණිවිඩය ලබා දෙන ලෙසට ද උපදෙස් දී ඇත්තේ මෙම ජේලර්වරයා විසින්ය. ඒ සඳහා ඔහුගේ ජංගම දුරකතනය සිරකරුවා විසින් පරිහරණය කර ඇත.
ලොක්කන්ගේ වැරදිවලට වන්දි ගෙවන පොඩ්ඩෝ
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. සිරකරුවා පැන ගියේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ගේ නොසැලකිලිමත් බවින් යැයි චෝදනා ගොනු විය. ඉහළ නිලධාරීන් කීප දෙනාගේ කූට, සියුම් උපක්‍රම ඉදිරියේ එම නිලධාරින්ට සිය නිදොස් බව තහවුරු කරගත නොහැකි වූහ. ඔවුන්ට දඬුවම් මාරුවීම් ලැබිණ. වැටුප් වර්ධක අහිමි කෙරිණ. කනගාටුදායක තත්ත්වයක් වූයේ මෙම නිලධාරීන් සොරුන් වශයෙන් බන්ධනාගාර තුළ හංවඩු ගැසීමයි. එම තත්ත්වය ඔවුන්ගේ පවුල්වලට දරාගත නොහැකි තරමේ දුකක්, වේදනාවක් ගෙන දුන්නේය. එම වේදනාවෙන් යුතුව ඇතැම් භාර්යාවෝ සිය ස්වාමි පුරුෂයන්ගෙන් දික්කසාද වූහ.
මෙම සිද්ධිය සිදුවන සමයෙහි බන්ධනාගාරයේ තවත් ඉහළම නිලධාරියකු සතුටු කිරීම පිණිස අලුත්ම මෝටර් රථයක් තුටුපඬුරු වශයෙන් ඔහුට ලබා දී ඇත්තේ අදටත් සිරදඬුවම් විඳිමින් පසුවන සිරකරුවකු විසින්ය. එම ගනුදෙනුව සඳහා අවශ්‍ය කරන සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ඉහත සඳහන් සිරකරුවන් භාරව සිටි ප්‍රධාන ජේලර්වරයා විසින් ඉටුකර තිබේ. ඉන් ටික කලකට පසු මෝටර් රථය තෑගි ලද උසස් නිලධාරියා, අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලයක් සඳහා මාරු වී ගියේය. පුදුමය එය නොවේ. එම නිලධාරියා නැවතත් වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් සඳහා පත්කර එවීමයි. එය, ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා’ වැනි කිසිකමකට නැති වැඩක් යැයි බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ පවසති. එම පත්වීම හරහා මෙම නිලධාරියාට දූෂිත නිලධාරීන් අතලොස්සට රැකවරණය ලබාදිය හැකි බවත්, දූෂිත සිදුවීම්වලට අදාළ වටිනා ලිපිගොනු අස්ථානගත කළ හැකි බවත් ‘බන්ධනාගාර පොඩ්ඩෝ ’ පෙන්වා දෙති.
බන්ධනාගාර පද්ධතිය තුළ ‘මෝරා…’ නමින් වාට්ටු පවත්වා ගෙන යයි. ‘මෝරා’ වාට්ටු සෑම බන්ධනාගාරයකම නැත. ඒවා පිහිටුවා ඇත්තේ වැලිකඩ, මහර, මැගසින්, කොළඹ රිමාන්ඩ්, අනුරාධපුර, මාතර, ගාල්ල, කළුතර හා බූස්ස යන බන්ධනාගාරවලය. ‘මෝරා’ වාට්ටු සිරමැදිරි නොව, හැකි සෑම සැප පහසුවක්ම ලබාදෙන සුපිරි ‘ගෙස්ට් හවුස්’ කාමර මෙනි.
මේවාට ඇතුළු විය හැක්කේ ප්‍රමාණවත් දේශපාලන, ව්‍යාපාරික හෝ ඇතැම් අපරාධවලට සම්බන්ධකම් තිබෙන, ඉල්ලන ගාණක්
ගිණුම්ගත කළ හැකි සුපිරි පන්තියේ සැකකරුවන්ට හා සිරකරුවන්ටය. ඔවුන්ගේ පරිහරණයට ජංගම දුරකතන තබාගත හැක. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය යලට, මහට මෙම ‘මෝරා’ වාට්ටු වටලන්නට එන්නේ ‘සද්භාවයෙන්’ යුතුව පෙර දැනුම් දීමක් එම බන්ධනාගාරයේ ලොක්කන්ට සිදුකිරීමෙන් අනතුරුවය. එවිට සිරකරුවන් හා සැකකරුවන් අත තිබෙන මොබයිල් ෆෝන් අන්තරස්දාන වෙයි. අනෙකුත් සිරකරුවන්ට සිහිනයක් වන ‘මෝරා’ වාට්ටුවට පමණක් ආවේණික සියලු පහසුකම්ද එහාටත්, මෙහාටත් විසිවෙයි. බුද්ධි අංශ පැමිණ සෝදිසි කිරීමෙන් අනතුරුව එම බන්ධනාගාරයේ නිලධාරින් කීපදෙනා සිය රාජකාරිය දේවකාරියක් මෙන් වගකීමෙන් යුතුව සිදුකරන බවට ලිඛිත වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් වෙයි. කොමසාරිස් ජෙනරාල්වරයා එම ලිපිය අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබන්නේ සිය අත්සනින්ය.
‘මෝරා’ වාට්ටු පිහිටි බන්ධනාගාරවලින් සෑම මාසයකම රුපියල් ලක්ෂ 05ක් බැගින් වන මුදලක් බන්ධනාගාර මූලස්ථානයේ ඉහළ නිලධාරින් කීපදෙනා අතට පත්වෙයි. ලක්ෂ 05ක් එසේ සපයන්නට නම් ‘මෝරා’ වාට්ටු පිහිටි බන්ධනාගාරවල උසස් නිලධාරි දෙතුන් දෙනා මාසයකට අඩුම තරමේ ලක්ෂ 20ක මුදලක්වත් හෝ ඉපැයිය යුතු යැයි බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ පෙන්වා දෙති. ඉතිරි ලක්ෂ 15 එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරින් අතරේ බෙදී යයි. ‘මෝරා’ වාට්ටුවලින් මේ ආකාරයට මුදල් එකතු වන්නේ එහි රඳවා සිටින සිරකරුවන්ට සිය අපරාධ පවත්වා ගෙන යන්නට සහය හා මනා පහසුකම් ලබාදීම වෙනුවෙන් යැයි පොඩ්ඩෝ කියති.
බන්ධනාගාර මූලස්ථානයේ ඉහළම නිලධාරියකු සතුව වටිනා වාහන වර්ග 09ක් පමණ තිබේ. මීට ටික කලකට පෙර ඔහු තවත් අලුත් වාහන දෙකක් මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි තුනක් හෝ ඊට මඳක් වැඩි මිලකටය. වාහනයක් මිලදී ගැනීම ප්‍රශ්නයක් නොවන බව පවසන පොඩ්ඩෝ මෙම තත්ත්වය පිළිබඳ විශේෂ විමර්ෂණයක් පවත්වන්නැයි අදාළ අංශවලින් ඉල්ලීමක් කරති.
බන්ධනාගාර තුළ මේ වනවිට ඇතිවී තිබෙන්නේ දෙබරයකට ගලක් නොව, ගල් වරුසාවක් වැදුන තරමේ මහා කලබගෑනියකි. රහස් පොලිසිය, අල්ලස් කොමිසම පමණක් නොව, මෙතෙක් කල් දුකට හා සැපට තමන්ගේ සෙවනැල්ල මෙන් සිටගත් අධිකරණ අමාත්‍යාංශය ද එරෙහිව ගොසින්ය. අතලොස්සක් වූ දූෂිත බන්ධනාගාර නිලධාරීන් සුළු පිරිස පසුපස ඔවුන් සියලු දෙනා පන්නන්නට පටන් ගෙන තිබේ. දූෂිත නිලධාරීන් ‘ඉඳිකටු තුඩේ තපස් රකින්නන්’ බවට මේ මොහොතේ පත්වී සිටිති. එහෙත් ඔවුන් නිහඬ නැත. තමන් පසුපස පන්නන මෙම වැඩපිළිවෙළ අවුල් ජාලාවක් කොට බන්ධනාගාර පද්ධතිය ගිනියම් කළ හැක්කේ කෙසේද? කවර මොහොතකද? යන දැඩි අවධානයෙන් යුතුව ඔවුහු ‘ඉඳිකටු තුඩ මත බකතපස් රකිති’.
තව කොටසක් ලබන සතියේ
අනුර හොරේෂස්