මනරම් කවියක්වන් කෙටිකතා සංග්‍රහයක්
සුනිල් ගුණවර්ධන අප හැඳින සිටින්නේ ප්‍රතිභාපූර්ණ කවියකු, ජනප්‍රිය ගීත රචකයකු, ශූර කෙටිකතාකරුවකු ලෙසින් මෙන්ම ප්‍රබුද්ධ සාහිත්‍ය විචාරකයකු වශයෙනි. සුනිල් ගුණවර්ධන මීට ඉහතදී පළ කළ “දූලගෙ තාත්තා”, “රේස් ආච්චි”, “මෙත්තම්මා”, “නොසිතූ විරූ”, “බීකා”, “ඩ්‍රයිවර් නැන්දා” සහ “අහසට පෙම් බැඳි ගැහැනිය” යන සප්ත කෙටිකතා සංග්‍රහ තුළින් ජන ජීවිතයේ විවිධ පැතිකඩයන් යථාර්ථවාදීව රූපණය කර ඇත.
ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය ලෙසින් නාමකරණය වී ඇති “පොඩි රොසයිරෝ” බර්ගර් ජන ජීවිතය ආශ්‍රය භූමි කරගෙන ඔහු විසින් රචනා කර ඇති කෙටිකතා සමුච්චියට මෑත දී එක් වූ අපූර්ව කෙටිකතාවක් ලෙස නමෝවිත්තියෙන්ම සඳහන් කළමනාය. “පොඩි රොසයිරෝ” කෙටිකතාව සඳහා වස්තු විෂය වී ඇත්තේ නුගේගොඩ හයිලෙවල් පාරේ දෙල්ගහවත්තේ කුලී නිවසට සම්ප්‍රාප්ත වී වසර විස්සකට වැඩි කලක් ජීවත් වූ බර්ගර් ජාතික රොසයිරෝ යුවළ මුහුණදුන් සිදුවීම් පෙළකි. නිවාස හිමිකාරිය වූ වයලට් නෝනා මොවුනට බෙහෙවින් ආදරය කළ අතර, රොසයිරෝ නෝනාගේ ඇවතුම් පැවැතුම් පිළිබඳව අසල්වාසීන් දක්වන සැලකිල්ල මෙවදන්වලින් පිළිබිඹු වේ.
“කිසි කෙනකුට කරදරයක් නැති හොඳ මිනිස්සු. කනට ඇහෙන්න කතා කරන්නේ නෑ. සමහර වෙලාවට ගෙදර ඉන්නවද, නැද්ද කියල කාටවත් කියන්න බෑ. ඒ තරං නිශ්ශබ්දයි”
මවක හා පියකු වීමේ පෙර ලකුණු සමග රොසයිරෝ මහතාත් රොසයිරෝ නෝනාත් තැන්පත් වූ අතර ඔවුන් පිළිබඳව අසල්වාසීන් පවසන මෙවදන් අසනු මැනවි.
“අන්න වැදගත් මනුෂ්‍යයෝ, ලංසි මිනිස්සු කියල අසංවර නෑ. හැම තිස්සෙම ගවුමක් ඇඳගෙන යන්නෙ. ඒකටත් එක්ක දැන් හැදෙන අපේ එවුන්, බඩදරුවෙලා ඉන්දැද්දිත් කලිසමකට බහිනව. ලැජ්ජා නැතුව ඉස්සරහට බඩ දික් කරගෙන පාරවල්වල යනව. තුඃ නොදකින් කාලකණ්ණි හැත්ත. උන්ගෙ මිනිස්සුත් ඔක්කොටම හපන්. ගෑනුන්ව ඉස්සර කරගෙන යන කැත”
දෛවයේ සරදමට රොසයිරෝ යුවළට දාව උපන් දරුවා උපතින්ම අඳ ගොඵ බිහිරි බවට පත්වීම නිසා රත්මලානේ අඳ ගො
ඵ බිහිරි පාසලට යැවීමට සිදු විය. සුවිශේෂී දරුවකු බැවින් පාන්දරින් අවදි කරවීම, මුහුණ, කට සෝදා ඇඳුම් පැලඳුම්වලින් සැරසවීම යුද්ධයකට සමාන විය.
“පොඩි රොසයිරෝ” නමින් අසල්වැසියන් හැඳින් වූ මෙම දරුවා කොරෝනා වසංගතයේදී එක්වරම මහ දවාලේ අතුරුදන් වූයේ කොයි අත ගියාදැයි කිසිවකුටත් නිනව්වක් නොවන පරිදිනි. නමුත් පසුකාලයේ ඇති වූ ජන අරගල අවස්ථාවේදී රූපවාහිනී තිරය මතින් දිස්වූයේ පොඩි රොසයිරෝය.
“අන්න අන්න පොඩි රොසයිරෝ – පොඩි රොසයිරෝ” පැයෙන් පැය පුවත් විකාශනය වෙද්දී හැම මුවකින් නැඟුණු හඩ`ක් විය.
“ ඔව් මිනිහ තමයි, මිනිහ තමයි” විස්මයත් සතුටත් එකට කළවම් විය.
මෙම කෙටිකතාව පෙදෙන් පෙද විකාශනය කිරීමේදී කතුවරයා විසින් අවස්ථා සහ සිද්ධි නිරූපණය කර ඇත්තේ විදග්ධ සිනමාකරුවකු සිය කැමරාව අතීතය හා වර්තමානය කරා දෝලනය කරවන ආකාරයෙන් රූප රාමු පෙළ ගැස්වීමෙනි, කතුවර සුනිල් ගුණවර්ධන කෙටිකතාව සමාප්ත කරන්නේ ඉසියුම් සතටක සේයාවක් පහළ කරමින් කෙටිකතාව කූටප්‍රාප්තිය කරා රැගෙන යමිනි.
මෙම කෙටිකතා සංග්‍රහයේ “කන්ද” කෙටිකතාව තුළින් අම්බාගල කන්ද රූපණය කිරීමේදී කතුවරයා උපයුක්ත ආඛ්‍යාන රීතියේ ඇති විවිධත්වය හා විචිත්‍රත්වය නිසාත්, රූපකාර්ථවත් බස්වහර නිසාත් මෙම කෙටිකතාව මනරම් කවියක් සේ පාඨක සිත් සතන් පැහැර ගනී. කතුවරයා යොදා ගන්නා රමණීය බස්වහර අසනු මැනවි.
“අම්බාගල අඹගහ කනත්තවත්ත මායිමේ සිටගත් කන්ද, තමා රැකගත් තුරු වදුලු අත් මතින් අපමණ කුරුලු දරුවෝ වඩාගෙන සිටී. හිරු දෙවි මැද සිනා නංවන පාන්දර යාමයේත්, රැස් හකුළාගෙන පැන් සනන්නට සයුර වෙත යන සවස් භාගයේත්, කිරි ඉතිරෙන දඳ පහන් රාත්‍රියේත්, මෙය මන්මත් රමණීය දසුනකි.”
මෙලෙස ආරම්භ වන “ කන්ද” කෙටිකතාව තුළින් පාඨකයා රැගෙන යන්නේ කෘතිම රබර් හරහා මෙරටට සංක්‍රමණය වීමට පෙරාතුව කන්දේ රබර් වගාව පැවති අලංකාර විලාසය කෙරෙහිය. මෙවන් සොඳුරු බවක් පැවති කන්ද නිරායාසයෙන් වල් ඇහැල, ගැඩුම, ගොඩපර, රුක්අත්තන, කැන්ද, කදුරු ආදී ගස්වලින් වැසී ගොස් කණාටුව පාහරයන්ගේ පරාදීසයක් බවට පත්වීමට ගත වූයේ සුළු කාලයකි. දහවලට ආසන්න වෙද්දී කන්දේ තැන් තැන්වලින් ඉහළට විහිදෙන්නේ සිහින ලෝකවල රැඳීම සඳහා ත්‍රෛලෝක විජය පත්‍ර ඇට දමා ඔතාගත් සුරුට්ටු දැල්වීමෙන් නැඟෙන දුමකි, තවද සීල් අරක්කු, සයිවර්, ගංජා, අබිං, කන්දේ පඳුරක් ගානේ අලෙවි විය. සල්ලාලයන් විසින් ආක්‍රමණය කරන ලද කන්ද ගණිකාවන්ට තෝතැන්නක් විය. දිනක් කන්දෙන් පහළ සැළලිහිණි ගෙදරට උපන් ඇඳුමෙන් දිව ආවේ මුසාවෙන් මුළාකොට තුන් රෝද රථයකින් රැගෙන ආ අසරණ පාසල් සිසුවියකි. කාලයාගේ ඇවෑමෙන් අම්බාගල කන්ද මිලදී ගත් දේපළ වෙළඳ සමාගමක හිමිකරු මුදලට මෙන් පරිසරයට ආදරය කරමින් කන්දේ පාරවල් සකසා මල් ඇහැළ, මහෝගනී, විවිධ වර්ගවල උඩවැඩියා ඉන්දවා පරිසරය සුරකමින් හැම බිම් කැබැල්ලකට පිනි ජම්බු, කාමරංගා, සැපදිල්ල වැනි ශාඛා සිටුවන ලදි.
මේ උදාර මිනිසා මිලට ගත් අම්බාගල කන්ද ගැන පවසන ඔහුගේ මෙවදන් අසනු මැනවි.
“මං ආපහු මේ කන්දම විකුණල සල්ලි හම්බ කරන්නෙ නෑ. මේ මහ පොළොව අපිට විතරක් අයිති එකක් නෙමෙයි, සතා, සිවුපාවටත් මේකේ ඉන්න ඉඩ තියෙන්න ඕනේ. අපිට කලින් මේවයේ අයිතිකාරයෝ ඒගොල්ලො, ඒ ගැන මිනිස්සු හිතනව නං වටිනා ගහ කොළ සත්තු විනාශ වෙන්නෙ නෑ”
අම්බාගල කන්ද වස්තු විෂය කර ගනිමින් පරිසර හිතකාමී සාධු සම්මත ජන සමාජයක් නිර්මාණය කිරීම සඳහා කතුවරයා විසින් විසිතුරු සිත්තමින් හැඩ
ගැන් වූ මෙම කෙටිකතාව සමාජය වන්නේ මෙබඳු උදාර වදනකිනි. “ දැන් කුරුල්ලෝ බලන්ඩ බර්ඩ් පාර්ක් යන්න ඕනෙ නෑ. අම්බාගල නැග්ගම ඇති” යන සන්දර්ශනය සහිතවය.
“කාන්ති කාන්තිය තියා ගියාය” කෙටිකතාවට වස්තු විෂය වන්නේ සෝමදාසගේත්, ඥානවතීගේත් දරුවන් අතරින් කාන්ති නම් සුවිශේෂී තැනැත්තියක් කේන්ද්‍ර කරගෙනය. සුරූපී දේහයකින් යුක්ත වූ ඇය ඇඳුම් මැසීම හා මනාලියන් හැඩ ගැන්වීමේ ගුරුවරියක වූ අතර රූපලාවණ්‍යය ජීවන වෘත්තිය කරගත් පිබිදුණු කයින් මෙන්ම මනසින් ද පොහොසත් කාන්තියක්ම වූවාය. එහෙත් ඇය සිය අනාගත ඉරණම වෙනසකට බඳුන් කර ගැනීමට නොසිතූ විරූ කාන්තාවකි. ඇගේ මෙවදනට සවන් දුන මැනවි.
“එක පාරක් ජාත්‍යන්තර හොරෙක් අපි ඉපදිල ඉන්නෙ උගන්නන්න කියල කිව්වනෙ. ඒ වගේ මං ඉපදිල ඉන්නෙත් කසාද බඳින්න නෙමෙයි. කසාද බඳින්න ලෑස්තිවෙලා ඉන්න අයව ලෑස්ති කරන්න”
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මනාලියන් හැඩ ගැන්වීම තරගයේ දී “ කාන්ති පීරිස් නුගේගොඩ” නම කියවෙද්දී අත්පොළොසන් හඬින් සභාව ගුම් නද දෙද්දී ඇය වේදිකාව මතට නැඟ විශාල පළිහක් සමග විශාල මුදල් තෑග්ගකට හිමිකම් පෑවාය. එසේ මසක් පමණ වෙහෙසව ඈ එහි උපරිමයට පත්ව පඩිපෙළ නැඟීමේදී කාන්තිගේ යටිබඩ පෙදෙසින් අමුතු කැක්කුමක් ඇති විය. එය ගර්භාෂයේ පිළිකාවක්ම විය. දොස්තර බෙහෙත් මෙන්ම ආයුර්වේද බෙහෙත් ආදී සියලු ප්‍රතිකාර අත් හැර ඇය සිය දිවියෙන් සමුගත්විට නැඟුණු අදෝනාව මු`ඵ පරිසරය ම තුළ මූසල බව තැවරීය.
“ජීවත් වුණු කාන්තිටත් වඩා මැරිච්ච කාන්ති ලස්සනය.ි කසාද නොබැන්ද අපේ මනමාලි කතුවරයා මෙම කෙටිකතාවට කුණ්ඩලිය තබන්නේ කෙටිකතාවේ සමුදයාර්ථය මැනවින් කුළුගැන්වෙන මෙබඳු සටහනකිනි. “සුනිල් ආරියරත්නයන්ගේ “සරාගී” කෙටි චිත්‍රපටයේ සොහොන්පල්ලා සිටියේ නම් යළිත් බොරැල්ල කනත්තේ දොරටුවලට දම්වැල් හා ඉබි යතුරු නොදමයිද?”
“රතු කසිප්පුවා” කෙටිකතාව මත්පැනට සිය ජීවිතය ඛේදයක් කරගත් සමාජ විරෝධී පුද්ගලයකු වටා විරචිතය. මිල මුදල්, යාන වාහන, දැසි දස්සන් ඇති ඇග්නස් අක්කාගේ ඉල්ලීමට අවනතව රතු කසිප්පුවාගේ මෑණියන් ලොකු පුතා ඇයට හදා ගැනීමට දුන්නේය. ඇග්නස් සල්ලාලයන් පිනවන ජීවිතයක් උරුම කරගත් අතර ඇඳුම් පැලඳුම් මාරු කරන්නාක් මෙන් සැමියන් මාරු කරන තැනැත්තියක් වූවාය. ඇගේ ඡාගර සිතත් ඇගේ දුෂ්චරිතයත් කතුවරයා චිත්‍රණය කරන්නේ ඊටම ආවේණික වාග්මාලාවකිනි.
“සුමනා අන්න උඹේ ලොසින්ජර් මහත්තය එනව”
“ ආ අපේ මහත්තය එන්න, එන්න. අද පැන්ශන් දවසනෙ. මහත්තය එනකං සුමන මඟ බලාගෙන ඉන්නෙ”
කෙටි කථාව සමාප්ත වන්නේ සිය දියණිය ද විනාශ කළ රතු කසිප්පුවා අල්ලාගෙන ආ බවට පැතිර ගිය ආරංචියත් සමගය. කතුවරයා කෙටිකතාව අවසන් කරන්නේ මෙබඳු සිද්ධි නිරුපණයට උචිත වදන් මාලාවකිනි.
“කෙනෙක් රතු කසිප්පුවා ඇඳගෙන සිටි සරම ඉරා දැමූහ. ගෑනු කිහිපදෙනෙක් කෝපයෙන් පුපරමින් හුළු අතු පත්තු කරගෙන ආහ. රතු කසිප්පුවාගේ අංග ජානය පිළිසෙද්දී ඇති වූ වේදනාකාරී කෑ ගැසිල්ල මු`ඵ රබර් වත්ත පුරාම දෝංකාර දෙන්නට පටන් ගත්තේය.”
මෙම කෙටිකතා සංග්‍රහයේ එන “මරා දමන ලදි” කෙටි කතාව ඛේදනීය අවසානයක් සනිටුහන් කරන ජීවිතයේ ජඩ පක්ෂය නිරූපණය කරන්නකි. මෙහි ඇතුළත් “විරංගට වසන්තය”, “දරු දුකට වඩා”, “රැක ගැනීම”, “අරුම පුදුම විපර්යාස” “එක කතාවක දෙපැත්තක්” යන කෙටිකතා තුළින් විශද වන්නේ වත්මන් සමාජ ආර්ථික සන්දර්භයේ විවිධ ප්‍රපංචයන්ය. සුනිල් ගුණවර්ධනයන්ගේ කෙටිකතා සංග්‍රහය තුළින් අපට හමුවන්නේ වත්මන් සමාජ සංස්ථාවේ ඉහළ මාලයේ මෙන්ම පහළ මාලයේද ජීවත් වන අපූර්ව චරිතයන්ගේ සැබෑ අභ්‍යන්තරයයි. ඔවුන්ගේ ජීවිතවල ඇති සැබෑ ඛේදයයි.
සුනිල් ගුණවර්ධනගේ සෑම කෙටිකතාවකම වස්තු විෂය වන්නේ ඔහුගේ දිවිමගේ නොමැකෙන මංසලකුණ තැබූ නුගේගොඩ හා හොරණ ජීවත් වූ අපූර්ව මිනිසුන් පිළිබඳ ඉගැඹුරු ජීවිත විවරණයන් වන අතර එම නේකවිධ චරිත තුළින් වත්මන් සමාජයේ සැබෑ හැඩරුව විදාරණය කිරීම සඳහා කතුවරයා යොදා ගෙන ඇති සිද්ධි දාමයන් අප සිත් එක් පැහැර ගන්නේ ඒවායේ ඇති අපූර්වත්වය හා නැවුම් බව නිසයි. “පොඩි රොසයිරෝ’ කෙටිකතා සංග්‍රහය සුනිල් ගුණවර්ධනගේ පරිපාකයට ගිය කෙටිකතාකරණයේ සුවිශේෂී කුසල පිළිඹිබු කරන මනරම් කවියක් වන් කෙටිකතා සංග්‍රහයක් බැව් සඳහන් කළ යුත්තේමය.
- උදේනි සරත්චන්ද්‍ර