අයිරාංගනී සේරසිංහ
මෙම 09 වැනි දිනට 98 වැනි වියට එළැඹෙන අයිරාංගනී සේරසිංහ ශ්‍රීමතියගේ ජන්ම දිනය නිමිත්තෙනි.
අයිරාංගනී සේරසිංහ වූ කලී, ශ්‍රී ලාංකික සෞන්දර්ය කලාවෙහි ප්‍රමුඛ ධාරාවන් ත්‍රිත්වය ලෙස හැඳින්විය හැකි සිනමාව, නාට්‍ය මෙන්ම ටෙලිනාට්‍ය අරබයා අර්ථපූර්ණ හා විචිත්‍ර සම්ප්‍රදානයන් එක් කළ සාඩම්බර කලාකාරිනියක ලෙස මෙරටේ ප්‍රබුද්ධ සහෘද සංසදවල මතු නොව පොදු රසික ජනතාවගේ ද අප්‍රමාණ බුහුමනට ද ආදරයට ද පාත්‍ර වී සිටින්නාහුය. මෙම ජුනි නවවැනි දිනට යෙදෙන ඇගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ සංක්ෂිප්ත ඇගයුම කරනු ලබන්නේ අද මෙරටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම කලාකාරිනියක් අබියස තබන වනපස මලක් ලෙසය. ඇය 1927 වසරේ ජුනි 09 වැනි දින රුවන්පුර සුන්දර ගැමි පරිසරයක ජන්ම ලාභය ලද ඇයට දෙමව්පියන් විසින් තබන ලද නාමය වූයේ අයිරාංගනී රොක්සානා මීදෙණියයි. එහි ඉංග්‍රීසි මෙන්ම සිංහල ලකුණු ද ගැබ් වේ. කුමක් වුවත් ඇය උපත ලබන විට තිබුණු සමාජ – සංස්කෘතික පසුබිම තුළ සිය ජීවන යාත්‍රාව පැදවීමට ද ඇයට සිදුවූවාය.
ඇය උපන් රුවන්වැල්ලට නුදුරු මුදුගොමුව අද බෙහෙවින් වෙනස් වී තිබිය හැකිය. එහෙත් මෙයට දශක නවයකට පමණ පෙර එ’ගම කෙබඳු සොබාදහමේ හා පරිසරයේ චිත්‍රයක් මවන්ට ඇද්ද? නිසැකයෙන්ම ඇගේ සෞන්දර්යකාමී මනසත් සොබාදහම කෙරෙහි වූ භක්තියත් ඒ ගම්පෙතෙන් ලද උරුමයක මියුරු ඵලයක්වන්ට ද ඇත. පසුකාලීනව ඇය තමන් හමු වූ විවිධ කලාකරුවන්, මාධ්‍යවේදීන් මතු නොව සාමාන්‍ය ජනතාව සමග ද ඒ ළමාවිය සිහිපත් කරමින් අපූර්ව ආශ්වාදයක් ලද බව අපට ද මතකය. ඒ වන විට ද යටත් විජිතයක් ලෙස තිබුණු ශ්‍රී ලංකාව තුළ අලුත් නිදහසක අපේක්ෂාවන් වැඩෙමින් ද තිබුණි. එහෙම පිටින්ම ඉංග්‍රීසි අධ්‍යාපනයකුත් බටහිර වටිනාකම් සියල්ලමත් හිස මුදුනෙහිම තබාගත් ප්‍රභූ පන්තියක් ද එකල විය. කොහොමටත් ඇගේ ප්‍රථම අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් ඇය යොමු කරනු ලැබුවේ ද බ්‍රිතාන්‍ය මොඩලයේම කන්‍යාරාමවලටය. ශාන්ත බ්‍රිජට් හා බිෂොප් ඒ අතර විය. එසේම මහනුවර උසස් බාලිකා විදුහලෙහි සිප් සතර හැදෑරීමට ද ඇයට වාසනා ගුණ හිමිවිය.
ඇගේ ශාස්ත්‍රීය හා විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ වන විටද මෙරටේ අධ්‍යාපනය ලැබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඉංග්‍රීසියෙන් ඉගෙන ඉංග්‍රීසියෙන් සිතන පරපුරක් පිළිබඳව එවක සිටි ප්‍රභූ පන්තිය ද අපේක්ෂා කළේය. 1947 වසරේ මෙරටේ කීර්තිමත් මෙන්ම ප්‍රථම විශ්වවිද්‍යාලය වූ ලංකා විශ්වවිද්‍යාලයට පිවිසීමේ භාග්‍යය ඇයට උදාවූවාය. අපේ විශ්වවිද්‍යාල ඉතිහාසය ආරම්භ වන්නේ ද 1921 පිහිටුවන ලද සිලෝන් යුනිවසිටි කොලේජ් නමැති බ්‍රිතාන්‍යයට අනුබද්ධ අධ්‍යාපන කේන්ද්‍රයෙනි. 1942දී එය ලංකා විශ්වවිද්‍යාලය නමැති ශාස්ත්‍රීය කේන්ද්‍රය බවට පත්විය.
අයිරාංගනී මීදෙණියගේ රංග කලා ජීවිතයේ සමාරම්භක පරිච්ඡේදය වන්නේ ද මෙම ලංකා විශ්වවිද්‍යාලයයි. ඇය ප්‍රථමයෙන් සම්බන්ධ වන්නේ ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවටය. එවක එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අංශයේ මහාචාර්යවරයකුව සිටි ඊ.එෆ්.සී. ලුඩොවයික් මෙන්ම ඔස්ට්‍රියානු ජාතික නියුමන් ජුබාල් ඇගේ රංගකලාවේ පළමු ගුරුවරු වූහ.
ඉංග්‍රීසි යටත් විජිත සෙවණැල්ල වැටුණු විශ්වවිද්‍යාලය තුළ සිංහල සමිතියක් ආරම්භ කිරීම පවා දුෂ්කර වූ වග මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ලියන ලද පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි ද සඳහන් වේ. මිෂනාරි අධ්‍යාපනය තුළ වැඩුණු බොහෝ සරසවි මානවක මානවිකාවෝ ද ඉංග්‍රීසි පන්නය රුචි කළහයි ද කියති.
ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේ කැපීපෙනෙන නිළියක් බවට පත්වීමට අයිරාංගනී සමත් වන්නී ද ලුඩොවයික් වැනි මහාචාර්යවරුන්ගේ අනුබලය හා අනුග්‍රහය නිසාය. ඇයට ලන්ඩන් නාට්‍ය හා රංග කලා පාසලට පිවිසීමට හැකි වූයේ ද ඒ නිසාමය. ඇය චරිත නිරූපණය කළ ප්‍රථම ඉංග්‍රීසි නාට්‍යය වූයේ මැක්සිම් ගෝර්කිගේ ‘The Lower Depths’w ය. එහි නිෂ්පාදක ජුබාල්ය. ඉංග්‍රීසි වේදිකාව ඇගේ රංග විලාසය උද්දීපනය කළ අයුරු ඇය විසින්ම නොයෙක් අවස්ථාවල සඳහන් කරන ලද්දකි. මෙරටේ ඉංග්‍රීසි නාට්‍ය පිළිබඳ විමර්ශනයක් කළ මහාචාර්ය තිස්සකාරියවසම් විසින් සඳහන් කරන ලද වසර 60ක ඉංග්‍රීසි වේදිකාවට ප්‍රමිතියක් හා ජීවයක් ලබාදුන් නළු නිළියන්ගේ ලේඛනයක අයිරාංගනී මීදෙණිය මෙන්ම වින්සන්ට් සේරසිංහගේ නම් ද ඇතුළත් වී තිබේ. එයින් තහවුරු වන්නේ ඉංග්‍රීසි නාටකයට ප්‍රේක්ෂක අවධානය ඇදබැඳ ගැනීමට ඇයගේ රංගන දායකත්වය ද හේතු වූ බවය.
කෙසේ වුවද අයිරාංගනී මීදෙණිය/සේරසිංහ නාමය මෙරටේ ශ්‍රී ලාංකික සිනමාවේ සමාරම්භයට ද දායක වූවකි. ඉංග්‍රීසි වේදිකාවේ සකලවිධ අත්දැකීම් සහිත වූ මේ රූපනවේදිනිය සිනමාවට එක්කරගනු ලබන්නේ මෙරටේ පුරෝගාමී සිනමාකරුවකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. ආචාර්ය ලෙස්ටර් ද ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පන්තියට අයත් වූවෙකි. එහෙත් ඔහු ඒ වන විට මෙරටේ වැඩෙමින් තිබුණු ජාතික අනන්‍යතාව හා සංස්කෘතික ප්‍රබෝධය කෙරෙහි සංවේදී වූ කලාකරුවෙකි. ඉංග්‍රීසි බසින් නිපද වූ නාට්‍ය මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපට වෙනුවට දේශීය අනන්‍යතාවක් සහිත නාට්‍ය හා චිත්‍රපට නිර්මාණය කිරීමට කැපවූ ප්‍රබුද්ධ සිනමා හා නාට්‍යකරුවෝ ද එකල වූහ. 1956 දී මෙරටේ ඇතිවූ දේශපාලන පෙරළියත් ඉන් උද්දීපනයවූ නිර්මාණ පිළිබඳවත් ඉතිහාසයෙහි දැක්වෙයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි නම් ඒ ඉතිහාසයට සම්බන්ධ කිහිපයකි.

ශ්‍රී ලාංකික සිනමාවේ ප්‍රථම විප්ලවීය ප්‍රතිචාරය පමණක් නොව ඒ ක්‍ෂේත්‍රයෙහි දැවැන්ත සෙවණැල්ලක්ව තිබුණු ඉන්දියානු සිනමාව ද පසු බැස්වීමට බිහිවූ සිනමා නිර්මාණය ලෙස රේඛාව (1956) හැඳින්වේ. ඒ සිනමා නිර්මාණය තුළට අයිරාංගනී මීදෙණියගේ ශිල්පීය ගුණය ද කැවීමට එහි අධ්‍යක්‍ෂවරයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවශ්‍ය විය. ප්‍රකට සිනමා විචාරකයකු මෙන්ම පර්යේෂකයකු ද වන ගාමිණි වේරගම ඒ පිළිබඳව අගනා සටහනක් තබා ඇත. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් බමුණුකුලයේ බිඳවැටීම ලෙස හැඳින්වූ 1956 දේශපාලන පරිවර්තනය එවක තිබුණු ප්‍රභූ පන්තියෙන්ම මතුවූ කැරැල්ලක ප්‍රතිඵලයකි. මෙහිදී සමාජ මතු මහලේ සිටි ප්‍රභූවරුන් පෙරළා දමා අගමැතිවරයා බවට පත්වූ මහජන එක්සත් පෙරමුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට ලැබුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ ශක්තිය හා දායකත්වයයි.
ලෙස්ටර්ගේ රේඛාව ඒ සමාජ අවශ්‍යතාවය පිළිබිඹු කළ බව ගාමිණි වේරගම දේශීය සිනමා වංශයෙහි දක්වා තිබේ.
අයිරාංගනී ප්‍රථමවරට උගත් ප්‍රභූ පන්ති විලාසයෙන් මිදුණු ගැමි ගැහැනියකගේ මිථ්‍යා අදහස් වැලඳගත් සමාජයක සංකේතයක් ලෙස රේඛාවේදී අප අබියසට එයි. රේඛාවේදී අයිරාංගනී මීදෙණිය සේරසිංහ විසින් දක්වන ලද රංග ප්‍රතිභාව ජාත්‍යන්තර වශයෙන් ද ඇගැයුමට ලක්වේ. දීපශිඛා සිනමා උළෙල (1957 – මෙය ලංකාදීප පුවත්පත එදා සංවිධානය කරන ලද්දකි). අයිරාංගනී මීදෙණියට හොඳම නිළියට හිමිවන සම්මානය ද ලබාදී ඇත. හොඳම අධ්‍යක්ෂ වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එසේම ඛාන් සිනමා උළෙලේ තිරගත වූ රේඛාව එදා විචාරක පැසසුමට ද ලක්විය. රේඛාව, ගැමි ජීවිතය හා බැඳුණු විශ්වාස හා මිථ්‍යාව පිළිබඳ අතිශය ස්වාභාවික නිර්මාණයක් ලෙස ඔවුහු සඳහන් කළහ. ඇත්තටම එහිලා අයිරාංගනීගේ බලපෑම සුවිශේෂී විය.
1950 දශකයේදී ආරම්භ වන අයිරාංගනී සේරසිංහගේ සිනමා සක්මන 2013 පමණ තෙක් ඇදී ගිය දීර්ඝ චාරිකාවකි. ආචාර්ය ලෙස්ටර්ගේ සංදේශය (කුඩා චරිතයකි), දෙලොවක් අතර, රන්සළු, අවරගිර, වෑකන්ද වලව්ව වැනි නිර්මාණ ගණනාවකම ඇගේ නිරූපණ දැකගත හැකි විය. දයානන්ද ගුණවර්ධනගේ බක්මහ දීගේ සඳහා ඇය කළ රංගනය ද සුවිශේෂ විය. අයිරාංගනී සේරසිංහගේ රංග ප්‍රතිභාව ප්‍රබල හා සහෘද කම්පනය තීව්‍ර කරන්නකි. සම්භාව්‍ය මෙන්ම වාණිජ හෙවත් සමගාමී චිත්‍රපට සඳහා ද ඇගේ දායකත්වය කැපීපෙනුණි. ඒ සියල්ල මෙහි ලා දැක්වීම අසීරුය.
කෙසේ හෝ අයිරාංගනී සේරසිංහ සිංහල රංග භූමියේ රඟපෑ ආන්දෝලනාත්මක නාට්‍ය චරිතය වූයේ හෙන්රි ජයසේනගේ “අපට පුතේ මඟක් නැතේ” හි මවගේ භූමිකාවය. පසුකාලීනව හෙන්රි ජයසේන විසින්ම ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ මෙම නාට්‍යය මෙන්ම අයිරාංගනී සේරසිංහ ගැන ද විවිධ අනාවරණයන් දැකගත හැකිය. ඔහුගේ සුවිශේෂ කරුණ වන්නේ මෙතෙක් සිංහල වේදිකාවේ ඉතා කලාතුරකින් දුටු අයිරාංගනී සේරසිංහ ඔහුගේ නාට්‍යයෙහි ප්‍රධාන චරිතය වූ බවය. ඇගේ මුහුණ හා සිරුරත් එම චරිතයට මනා ආලෝකයක් වූ බවද ඔහු සඳහන් කරයි. මේ හෙන්රිගේ මතකයෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.
“මා සිතුවාක් මෙන්ම මේ දෙදෙනා (අයිරාංගනී හා ඩග්ලස් රණසිංහ) මව සහ පුතුගේ චරිත ද්වය අතිශයින් අර්ථවත් ලෙස ද අනුවේදනීය ලෙස ද වේදිකාවෙහි ජීවමාන කළහ.
කවි දෙක තුනක් ගැයීමට තිබෙන නිසා අයිරාංගනී මෙම කාර්යයට පිවිසියේ තරමක් සැක සංකා සහිතවය.
“අනේ හෙන්රි වචන ටික නම් ඔහේ මරාගන්ට පුළුවන් වේවි. ඒත් කවි ටික නම් මාව මරාවි… අයිරාංගනී මුල් පුහුණුවේදීම කොයි කව්රුත් සිනා ගන්වමින් කීවාය.
“මොන පිස්සුද? මීදෙණියේ වෙල්යායවල කවි සීපද අහල තියෙන අයිරාංගනීට ඒකත් වැඩක්ද?”
මම ස්ථීරවම කියා සිටියෙමි. ඇත්ත වශයෙන්ම දින දෙකක් පුහුණු වූ පසු නාට්‍යයෙහි මව සඳහා ලියැවුණු එම කවි දෙක ඉතා හොඳින් ගැයීමට ඇය සමත් වූවාය.
නිම්නැති කතාවක්
හෙන්රි ජයසේන
මා මෙය උපුටා දැක්වූයේ ඇගේ සුවිශේෂ රංග ප්‍රතිභාව, වේදිකාව වටහා ගැනීම ආදියට ඇය තුළ වූ සහජ කුසලතාව පෙන්වා දීමටය. එසේම ඇගේ පළමු සිනමා රංගනය වූ රේඛාව චිත්‍රපටයේ ද ඇය මවකි. ඇයට පුතෙක් ද විය. මෙහිදීත් ඇය මවගේ භූමිකාවට ජීවය ලබාදෙයි. “අපට පුතේ මඟක් නැතේ” එවක පැවැති එ.ජා.ප. රජයේ තහනමට පවා ලක්විය. එහෙත් එය මෙරටේ සරසවි අධ්‍යාපනයත් එහි ගැබ්වූ ශෝකීය ජීවිතයෙන් බිඳකුත් හෙළි කරන්නක් විය. ඇත්ත වශයෙන්ම මෙම නාට්‍ය නැරඹූ බහුතරයක්ම මව ලෙස රඟපෑ අයිරාංගනී සේරසිංහට මෙන්ම පුතු ලෙස සිටි ඩග්ලස් රණසිංහට ද වශී වූහ. මා දන්නා තරමින් ඇය මේ චරිතය සිය වරකට වඩා රඟදක්වා ඇත. සිය පුතුගේ වියෝගය දරාගත නොහැකි ගැමි මවක් ලෙස නාට්‍යයේ අවසන් ජවනිකාවට ජීවය දෙන ඇය දෙස ප්‍රේක්ෂකාගාරයම තුෂ්ණිම්භූතව සිටි අයුරු මට ද මතකය.
කුමක් වුවත් ඉහත දැක්වූ රේඛාව චිත්‍රපටය මෙන්ම “අපට පුතේ මඟක් නැතේ නාට්‍යය ද මෙම ක්‍ෂේත්‍ර දෙකෙහිම ප්‍රබල භාව නිරූපණයන් ලෙස ඇගැයීමට ලක්ව තිබේ. (මෙහිලා දීර්ඝව කරුණු දැක්වීමට ඉඩක් නැත).
මා අවසන් වශයෙන් සිහිපත් කරන්නේ අයිරාංගනී සේරසිංහගේ විශිෂ්ට රූපණය සනිටුහන් කළ අතිශය ජනප්‍රිය මාලා ටෙලිනාටක වන දූ දරුවෝ හා යශෝරාවය පිළිබඳවය. යශෝරාවයේ සුදු හාමිනේ අදත් රූපවාහිනි ප්‍රේක්ෂක හදවත් තුළ නිදන්වූ අපූර්ව චරිතයකි. ස්ත්‍රීත්වය, මාතෘත්වය පිළිබඳ මෙවන් සංවේදී නිරූපණ කළ රංගවේදිනියක් අපේ ඉතිහාසය තුළ නැති බව මගේ අදහසය. ඇගේ රංග කලා සම්ප්‍රාප්තිය විනිවිද බලන ප්‍රබුද්ධ විචාරකයන්ට පමණක් නොව හුදු රසිකයන්ට ද අයිරාංගනී සේරසිංහගේ ප්‍රතිභාව, සංයමයෙන් යුතු රංගනය මෙන්ම එය තීව්‍ර කරන දෙබස් උච්චාරණය ද කෙබඳුදැයි හැඟෙනු ඇත. මේ පිළිබඳ මගේ නිරීක්ෂණය වන්නේ ස්වභාවයෙන්ම ඇය තුළ වූ සංස්කෘතික හා ස්වභාව සෞන්දර්ය උල්පත්වලින් ඇය ලද සුපෝෂණය බවය. ඇගේ සමස්ත රංග කලා භූමිකාවම උත්කර්ෂයට පත් කරන ලද්දේ ඇය විසින් ප්‍රගුණ කරන ලද න්‍යාය ධර්මවලට වඩා ළමාවියෙහි සිටම ඇය සමග බැඳුණු ආධ්‍යාත්මික හා සංස්කෘතික පෝෂණය බවද සඳහන් කළ යුතුය. ඉහත දැක්වූ පරිදිම සිනමාව, නාට්‍ය හා ටෙලිනාට්‍ය යන භූමිකාවන්ට ඇය විසින් තිළිණ කරන ලද රංග ප්‍රතිභාව අතිශය දුර්ලභ ප්‍රාතිහාර්යක් වැන්න.
සිය ජීවිත සැඳෑ වෙරළට සපැමිණි දශක නවයක සාඩම්බර ආවර්ජනයන් සමග තවත් කලක් වැජඹෙන්නට තරම් අපූර්ව සංස්කෘතික කලා ප්‍රාග්ධනයක් ද ඇය සතුව තිබේ. ඇයට දීර්ඝායුෂ වේවා. නිදුක් නිරෝගී වේවා!
● ගාමිණී සුමනසේකර