මගේ රතු තීන්ත පිරුණු හදවතේ පෑන් තුඩ කැඩී ගොස් ඇත. මට තවදුරටත් කතා කිරීමට වචන ඉතිරිව නොමැත. ලිවීමට තවත් අකුරු ඉතිරි වී නැත. ඉවසීමේ තේරුම කුමක්දැයි මම නොදනිමි. ඔබ නැවත මේ ලෝකය ගොඩනඟන්නේ නම්, මිනිසුන් සහ ගැහැනුන් නැවත නිර්මාණය කරන්නේ නම්, අද්දැකීම් අඩු කුඹල්කරුවෙකු මෙන් නොවන්න. කාන්තාවක් ලෙස පොළොවට එන්න, දෙවියනි!
වරක් කාන්තාවක් වන්න, අනේ දෙවියනේ!…
මෙය කන්නඩ ලේඛිකා බානු මුෂ්තාක්ගේ ‘හාර්ට් ලැම්ප්’ හි අවසාන කතාවේ එන ඡේදයකි. එය හුදෙක් ආයාචනයක් නොව, කාන්තා පැවැත්ම පිළිබඳව අනුකම්පාවකින් තොරව බලා ගොඩනඟන ලද ලෝකයක් පිළිබඳ චෝදනා පත්‍රයකි.
2025 මැයි මාසයේදී, හාර්ට් ලැම්ප් 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගත්තේය. මුෂ්තාක්, බූකර් ත්‍යාගය සඳහා නම් කරන ලද පළමු කන්නඩ භාෂා ලේඛිකාව විය. මුෂ්තාක්ගේ කන්නඩ කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද දීපා භාස්ති බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තිකාව වූ අතර මෙය මෙතෙක් බුකර් ත්‍යාගය දිනාගත් පළමු කෙටිකතා එකතුව ද විය.
…අරෙයි, මට අමතක වුණා. මම ඔයාට මුජාහිඩ් ගැන ඔක්කොම කියන්න ඕනේ, නේද? මුජාහිඩ් මගේ ගෙදර කෙනා. ඕ. ඒක අමුතුයි වගේ. බිරිඳක් තමයි සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කෙනා, ඒ නිසා ඇය ගෙදර කෙනා වෙනවා. සමහරවිට එහෙනම් මුජාහිඩ් මගේ කාර්යාලයීය කෙනා. චේ! මම ආයෙත් වැරැද්දක් කළා. කාර්යාලය මගේ නෙවෙයි. මම මේක වෙන කොහොමද කියන්නේ? මම යජමානා කියන වචනය පාවිච්චි කරලා එයාට අයිතිකාරයා කියලා කතා කළොත්, මම සතෙක් හෝ බල්ලෙක් වගේ සේවකයෙක් වෙන්න වෙනවා. මම ටිකක් උගත්. මම උපාධියක් ලබාගෙන තියෙනවා. මම මේ අයිතිකාර සහ සේවක භූමිකාවන් ස්ථාපිත කරන්න කැමති නැහැ. එහෙනම් මම සැමියාට ‘ගන්ධ‘ කියන්නද? ඒකත් බර වැඩියි, ගන්ධාරයෙක්.? ඒක මට ලොකු ව්‍යසනයක් වෙනතුරු මම බලාගෙන ඉන්නවා වගේ. නමුත් අපි මේ කරදරවලට මුහුණ දෙන්නේ ඇයි? සැමියාට ‘පති’ කියන ලස්සන වචනය භාවිතා කරන්න කියලා ඔබට යෝජනා කළ හැකියි – එහෙනම්, ඔබේ නිවසට එන කිසිම කාන්තාවක් තම සැමියාව හඳුන්වා දෙන්නේ ‘මේ මගේ පති’ කියලා – හරිද? මේ වචනය භාවිතාව එතරම් ජනප්‍රිය නැහැ. ඒක හරිම පොත්පත්කාර ලිඛිත වචනයක්. කෙනෙක් පති කියන වචනය පාවිච්චි කළොත්, ඒකට දේවරු කියන වචනය එකතු කරන්න පෙළඹීමක් එනවා. ඒක සාමාන්‍ය පුරුද්දක්, තමන්ගේ සැමියා දෙවියන්ට සමාන කරන දෙයක්. මුජාහිද්ට ඒ තරම් උසස් තත්ත්වයක් දෙන්න මම කැමති නැහැ…
…ටිකක් හිතලා බලන්න, අපිට, ඒ කියන්නේ මුස්ලිම්වරුන්ට, උඩ ඉන්න අල්ලාහ් ඇරෙන්න අපේ පතියා පොළොවේ දෙවියන් කියලා කියනවා. සැමියාගේ ඇඟේ තුවාල පිරිලා, සැරව සහ ලේ ගලන තත්ත්වයක් එනවා කියලා හිතන්න. බිරිඳ මේ තුවාල ලෙවකන්න දිව පාවිච්චි කළත්, ඇයට තවමත් ඔහුට ගෙවිය යුතු ණය සම්පූර්ණයෙන්ම ගෙවන්න බැරි වෙයි කියලා කියනවා. ඔහු බේබද්දෙක් හෝ ස්ත්‍රී ලෝලියෙක් නම්, නැත්නම් ඔහු හැමදාම ඇයට දෑවැද්ද ගැන හිරිහැර කරනවා නම් – මේ සියලු ‘නම්’ සත්‍ය වුවත්, ඔහු තවමත් සැමියා. කවුරුන් කුමන ආගමකට අයත් වුවත්, බිරිඳ සැමියාගේ වඩාත්ම කීකරු සේවකයා, ඔහුගේ ඇපකාර කම්කරුවා…
…පොඩ්ඩක් ඉන්න. මම ඔයාට මුළු කතාවම කියන්නම්. අපි අලුත විවාහ වුණු අය. හරියටම කියන්න ඕන නම්, අපි විවාහ වෙලා මාස දහයයි දවස් දහතුනක්. මුජාහිඩ් මීට කලින් උපක්‍රම කිහිපයක් උත්සාහ කළා. දවසක්, එයා ගොඩක් මහන්සිවෙලා මගේ කොණ්ඩේ ගොතලා, ඒක උස්සලා තියාගන්න මගේ ඔළුවට කටු එකසිය දහඅටක් දැම්මා. ඒක හරිම ලස්සනයි කියලා සතුටු වෙලා, එයා ෆොටෝ එකක් පවා ගත්තා. ඒකෙ මම වැඳිරියෙක් වගේ පෙනුනා. තවත් දවසක එයා මට කලිසම් අඳින්න කියලා බල කළා, නමුත් එයාගේ ලිහිල්ම යුගලය පවා මැහුම් වලින් එළියට පැනලා තිබුණා. ඒකෙන්ම ඒ උත්සාහය අතහරින්න සිද්ධ වුණා. ඊට පස්සේ එයා මාව දුම්පානය කරන්න දිරිමත් කරන්න හැදුවා, එතකොට මිනිස්සු එයාව හරිම සමාජශීලී, ලිබරල් පුද්ගලයෙක් කියලා හිතයි කියලා. කවුරු හරි දුම්පානය කරනකොට මට හරිම කේන්ති යනවා. ඒ නිසා දුම් පිඹින එක වෙනුවට, මම ඒක ඇතුලේ තියාගෙන කැස්ස නවත්ත ගන්න බැරිව, හුස්ම ගන්න අමාරුවෙන් වගේ හැසිරුණා. එයා ගොඩක් කලබල වුණා. නමුත් මේ සියලු ව්‍යසන අපේ විවාහයෙන් මාස තුනක් ඇතුළත ගෙවිලා ගියා…
මුෂ්තාක්ගේ හඬ දැඩි අවංකකමකින් යුක්තය. ඇගේ කතාවල පිළිබිඹු වන්නේ සමාජයේ මායිම්වල සිටින කාන්තාවන් තමන් සොයා ගන්නා සංකීර්ණ තත්ත්වයන් පිළිබඳ සරල ආඛ්‍යාන වේ. සමාජ ක්‍රියාකාරිනියක්, නීතිඥවරියක්, මාධ්‍යවේදියෙකු සහ ලේඛිකාවක් ලෙස ඇගේ කෘති අත්දැකීම් සහ සමාජ යුක්තිය සඳහා වූ නොනවතින කැපවීමෙන් හැඩගැසී ඇත. කාන්තාවන් – විශේෂයෙන් මුස්ලිම් සහ දලිත් කුලයේ කාන්තාවන් – වහල් ජීවිතවලට බැඳ තබන ව්‍යුහයන් ඇය හෙළිදරව් කරන අතර, ඊට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව දෙස අනුකම්පාවෙන් බලා ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කරයි.
මුෂ්තාක්ට ඇගේ ශිෂ්‍ය අවධියේ සිටම ලිවීමට ආශාවක් තිබුණ නමුත් ඒ සඳහා කටයුතු කරන්නේ කෙසේදැයි ඇය දැන සිටියේ නැත. අවසානයේ 1973 දී, විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු සහ දුරස්ථ ඥාතියෙකු වන මුෂ්තාක් මොහියුදීන් සමඟ විවාහ වීමට වසරකට පෙර, ඇය ඇගේ පළමු කතාව ‘නානු අපරාධියේ‘ (මම වැරදිකරුවෙක්ද?) ලියුවාය. විවාහයෙන් පසු අවදිය මානසික අවපීඩනය සහ හිස්ටීරියාවෙන් පීඩා විඳි ඇගේ ජීවිතයේ අතරමැදි කාලයක් විය. 1980 ගණන්වලදී ඇගේ තුන්වන දියණිය අයේෂා ඉපදුණු පසු, මුස්ලිම් කාන්තාවන්ට චිත්‍රපට නැරඹීම තහනම් කිරීමට විරෝධය පළ කරමින් ලංකේෂ් පත්‍රකේ නම් කන්නඩ සඟරාවට ලිපියක් පළ කරමින් ඇය නැවත ලිවීම ආරම්භ කළාය. එතැන් සිට, ඇය කෙටිකතා එකතු හයක්, නවකතාවක්, රචනාවක් සහ කවි එකතුවක් පළ කොට ඇත.
හාර්ට් ලැම්ප් හි කථා මුලින් 1990 සහ 2023 අතර කන්නඩ භාෂාවෙන් ලියා ඇති අතර දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. ඇගේ කෘති, එහි බලවත්ම ස්වරූපයෙන් ලෝකය පවතින ආකාරයෙන් පිළිබිඹු කරනවා පමණක් නොව, එය තිබිය යුතු ආකාරයටම පරිකල්පනය කිරීමට ද නිර්භීත වන බව අපට මතක් කරදෙයි.
බුකර් ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සභාපති මැක්ස් පෝටර් පැවසුවේ “මෙම කතා ස්ත්‍රීවාදී වුවත්, පීතෘමූලික සහ ඊට ප්‍රතිරෝධය පිළිබඳ අසාමාන්‍ය වාර්තා අඩංගු වුවත්, පළමුවෙන්ම ඒවා එදිනෙදා ජීවිතය සහ විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ සුන්දර වාර්තා” බවයි.
බානු මුෂ්තාක් 1948 දී කර්ණාටක ප්‍රාන්තයේ හසන් හි මුස්ලිම් පවුලක උපත ලැබුවාය. වයස අවුරුදු 8 දී, ‘මාස හයකින් කන්නඩ භාෂාව කියවීමට සහ ලිවීමට’ ඉගෙන ගත යුතුය යන කොන්දේසිය මත මුෂ්තාක් ශිවමෝගා හි කන්නඩ භාෂා මිෂනාරි පාසලකට ඇතුළත් කරන ලදී.
“මගේ කතා, කාන්තාවන් ගැනයි. ආගම, සමාජය සහ දේශපාලනය ඔවුන්ගෙන් ප්‍රශ්න කළ නොහැකි ලෙස කීකරුකම ඉල්ලා සිටින ආකාරය සහ එසේ කිරීමෙන්, ඔවුන් මත අමානුෂික කෲරත්වය පටවන ආකාරය, ඔවුන් හුදෙක් යටත් දාසියන් බවට පත් කරන ආකාරය ඒවායේ හෙළිදරව් කෙරෙනවා. මාධ්‍යවල වාර්තා වන දෛනික සිදුවීම් සහ මා විඳ දරා ගත් පෞද්ගලික අත්දැකීම් ඒවාට විෂය වී තිබෙනවා. මෙම කාන්තාවන්ගේ වේදනාව, දුක් වේදනා සහ අසරණ ජීවිත මා තුළ ගැඹුරු චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කරන අතර, එය ලිවීමට මා පොළඹවනවා.
මම විවාහකව සිටි නිසා මට කිසිවක් ලිවීමට නොහැකි වුණා. මම සිටියේ මගේ නැන්දම්මලාගේ නිවසේ. මම ලිවීම ගැන ඔවුන් කිසි විටෙකත් සතුටු වූයේ නැහැ. විවාහ වෙලා දවස් 18ක් ඇතුළත උසස් පාසල් ගුරුවරයෙක් විදිහට මගේ රැකියාවෙන් ඉල්ලා අස්වෙන්න කියලා එයා මට කිව්වා. මගේ නෑදෑයෝ මට උපදෙස් දුන්නා ඉල්ලා අස්වෙන්න එපා කියලා. රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ මට දුක හිතුනා. අවුරුදු දෙකක් තිස්සේ මම පසුතැවිල්ලේ ගිලිලා හිටියා.
ලිවීමේදී මම පුළුල් පර්යේෂණවල නිරත වන කෙනෙක් නොවෙයි. මගේ අධ්‍යයන ක්ෂේත්‍රය මගේ හදවත යි. සිදුවීම මට වඩාත් තීව්‍ර ලෙස බලපාන තරමට, මට වඩාත් ගැඹුරින් සහ චිත්තවේගීයව ලියන්න පුළුවන්. ‘හාර්ට් ලෑම්ප්’ පොත උපත ලැබුවේ කිසිදු කතාවක් කිසිදා කුඩා නොවන බවට ඇති විශ්වාසයෙන්. ඇය පැවසුවාය.
‘බොහෝ විට අපව බෙදීමට උත්සාහ කරන ලෝකයක, සාහිත්‍යය යනු අපට එකිනෙකාගේ මනස තුළ ජීවත් විය හැකි පූජනීය අවකාශයන්ගෙන් එකක්.’ ඇය තවදුරටත් පැවසුවාය.
‘මට හැමදාම ලියන්න ඕනකම තිබුණත් ලියන්න දෙයක් තිබුණේ නැහැ. මොකද ප්‍රේම විවාහයකින් වුවත් පස්සේ හදිසියේම බුර්කාවක් ඇඳගෙන ගෙදර වැඩට කැප වෙන්න කියලා බල කරනු ලැබුවා. මම අවුරුදු 29 දී පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන මවක් වුණා’ යනුවෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඇය පැවසුවාය. එසේම ඇගේ නිවසේ බිත්ති හතරට කොටු වූ ජීවිතයක් ගත කිරීමට ඇයට සිද්ධ වුණු ආකාරය ගැන ද ඇය සඳහන් කළාය.
‘හාර්ට් ලෑම්ප්’ පොතේ එක් කතාවක එන භූමිතෙල් සිද්ධිය ගැන පෞද්ගලික අත්දැකීමක් ඔබට තිබේද?’ යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට ඇය පැවසුවේ, “අපිට ලොකු ඒකාබද්ධ පවුලක් හිටියා. බිත්ති හතරක් ඇතුළේ හිරවෙලා හිටපු එක මාව පිස්සු වට්ටපු දෙයක්. මම මගේ සැමියාට කිව්වා, “ඔයා මගේ ජීවිතේ අන්තිමටම නරක් කළා” කියලා. මම ඇත්තටම කලබල වුණා. නමුත් ඔහු සන්සුන්ව හිටියා, මාව සනසන්න උත්සාහ කළා. දවසක් මේ සියල්ල පුපුරා ගියා. බලාපොරොත්තු සුන්වීමකින්, මම ගිනි තියාගන්න හිතාගෙන පෙට්‍රල් මගේ ඇඟටම වත් කරගත්තා. වාසනාවකට මෙන්, ඔහු එය දුටුවා. මාව වැළඳගෙන, ගිනි පෙට්ටිය මගෙන් උදුරා ගත්තා. ‘අපිව අතහරින්න එපා’ කියමින් ඔහු අපේ දරුවා මගේ පාමුල තැබුවා. එතකොට මට තේරුණා, මම කරන්න ගියේ භයානක දෙයක් කියලා. ආපසු හැරී බලන විට, එය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය විය හැකියි. නමුත් එය ගැඹුරු, බරක් ලෙස මට දැනුණා. මා තුළ යමක් කැඩී යනවා වගේ මට දැනුණා. මගේ කතාවල සෑම දෙයක්ම තරමක් ස්වයං චරිතාපදානාත්මකයි. ඒ අත්දැකීම මාව වඩාත් සංවේදී කළා.
“හාර්ට් ලැම්ප් හි, ඇගේ කාන්තා චරිත මෙම ප්‍රතිරෝධයේ සහ ඔරොත්තු දීමේ ආත්මය පිළිබිඹු කරයි. ප්‍රධාන ධාරාවේ ඉන්දියානු සාහිත්‍යයේ, මුස්ලිම් කාන්තාවන් බොහෝ විට රූපක බවට පත් කරනු ලැබ තිබෙනු දැකිය හැකියි. නිහඬව දුක් විඳින අය හෝ වෙනත් කෙනෙකුගේ සදාචාරාත්මක තර්ජනයට යටත්ව සිටීම යන දෙකම මුෂ්තාක් ප්‍රතික්ෂේප කරයි. ඇගේ චරිත සියල්ල විඳ දරා ගනී, සාකච්ඡා කරයි සහ ඉඳහිට පසුපසට තල්ලු කරයි. ඒ මාතෘකා කියාපාන ආකාරවලින් නොව, ඔවුන්ගේ ජීවිතවලට වැදගත් ආකාරවලින්,’ යැයි ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පොත පිළිබඳ සමාලෝචනයක සඳහන් වෙයි.
දශකයකට පසු පුවත්පත් කලාවෙන් ඉවත් වූ ඇය, තම පවුලට සහාය වීම සඳහා නීතිඥවරියක් ලෙස රැකියාව භාර ගත්තාය. දශක ගණනාවක් පුරා දිවෙන ඇගේ වෘත්තීය ජීවිතය තුළ, කෙටිකතා සංග්‍රහ හයක්, රචනා එකතුවක් සහ නවකතාවක් ඇතුළුව ඇය කෘති රාශියක් ප්‍රකාශයට පත් කර ඇත.
නමුත් ඇගේ මෙම තියුණු සහ එඩිතර ලිවීම ඇයව අන්තවාදී වෛරයේ ඉලක්කයක් බවට පත් කර ඇත.
“1981 දී මගේ තුන්වන දියණිය අයේෂා ඉපදුණු පසු, මට නැවතත් හිස්ටීරියාවේ රෝග ලක්ෂණ ඇති වූ අතර එය මගේ සැමියාට ඉක්මනින් දැනුණා. දිනක්, ඔහු මට ලංකේෂ් පත්‍රිකේ පුවත්පත ගෙනාවා. එදා එය කියවීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ කාලයේ, බිජාපූර්හි නජ්මා භන්ගි නම් උසස් පාසල් ගුරුවරියක් සම්බන්ධ ගැටලුවක් ඇති වී තිබුණා. කාන්තාවන් චිත්‍රපටවලට නොයා යුතු බවට මුස්ලිම් තරුණ කමිටුවක් නියෝග කළ අතර, ඇය එය ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ඇයට හිරිහැර කිරීමට පටන් ගත්තා. ඉන් මම කෝපයට පත් වුණා. මම මගේ විරෝධය පළ කිරීමට තීරණය කළා. මගේ දරුවා උකුලේ තබාගෙන, විනෝදාස්වාදය සඳහා අයිතියක් තිබෙන්නේ මුස්ලිම් පිරිමින්ට පමණක් ද යන්න ප්‍රශ්න කරමින් මම ලිපියක් ලිව්වා. මම එය ලංකේෂ් පත්‍රිකේ වෙත යැව්වා. දින දෙක තුනක් ඇතුළත එය පළ වුණා.’
2000 වසරේදී ඇය ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, මුස්ලිම් පල්ලිවල යාච්ඤා කිරීමේ කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් තම මතය ප්‍රකාශ කිරීමෙන් පසු ඇයට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු ආකාරය ගැන කතා කළාය.
“මම නිරන්තරයෙන්ම ස්වෝත්තමවාදී ආගමික අර්ථකථනවලට අභියෝග කර තිබෙනවා. මේ කරුණු තවමත් මගේ ලිවීමේ කේන්ද්‍රීයයි. සමාජය බොහෝ වෙනස් වී ඇති නමුත් මූලික කරුණු එලෙසම පවතිනවා. සමාජය පරිණාමය වුවද, කාන්තාවන්ගේ සහ අන්තවාදීන්ගේ මූලික අරගල තවමත් දිගටම පවතිනවා. ඒ වගේම මාධ්‍ය බොහෝ විට මුස්ලිම්වරුන් වැරදි ලෙස නිරූපණය කරන ආකාරය ගැන ද ලියන්නට මම පසුබට වන්නේ නැහැ.”
ඉස්ලාමීය නීතියට අනුව නීතිමය තීන්දුවක් වන ෆට්වාවක් ඇයට එරෙහිව නිකුත් කරන ලද අතර, දිනක් මිනිසෙකු ඇයට පිහියකින් පහර දීමට උත්සාහ කළේය.
“2000 දී, බෙන්කි මාලේ සම්මාන දිනා ගැනීමෙන් පසු, මුස්ලිම් කාන්තාවන්ට පල්ලිවල යාච්ඤා කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මම පෙනී සිටි නිසා මට විරුද්ධව ෆට්වාවක් නිකුත් කළා. එක් මිනිසෙක්, ප්‍රසිද්ධියට පත්වීම සඳහා නිසාදෝ මට පිහියෙන් ඇනීමට උත්සාහ කළා. මට ඔහුට දඬුවම් කළ හැකිව තිබුණා. ඔහුට 307 වගන්තිය (මිනීමැරීමට තැත් කිරීම) යටතේ චෝදනා එල්ල වුණා. නමුත් මා සමඟ නීතිඥවරියක වූ මගේ දියණිය ලුබ්නා, ඔහුට කුඩා දරුවන් සිටින බව පවසමින් ඔහු නිතරම අනුකම්පාව ඉල්ලා සිටින නිසා ඔහුට සමාව දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මම ඔහුගේ දුක්ඛිත තත්ත්වය දැක ඔහුට යන්න දෙන්න තීරණය කළා. වරක්, ඔහු තම දරුවන්ට රසකැවිලි මිලදී ගැනීමට මුදල් ඉල්ලා මගේ කාර්යාලයෙන් පිටත බලා සිටියා. මගේ සැමියා ඊට මට සිනාසුණු අතර, මම ඔහුට මුදලක් ලබා දී නැවත කිසිදා මා හමුවන්නට නොඑන ලෙස පවසා ඔහුව පිටත් කළා.
වසර ගණනාවක් පුරා මුෂ්තාක්ගේ ලේඛන කර්ණාටක සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ දාන චින්තාමනී අටිමබ්බේ සම්මානය ඇතුළු කීර්තිමත් විදේශීය හා ජාතික සම්මාන රාශියක් දිනා ගෙන ඇත.
නිමල් ෆ්‍රැන්සිස්