1931 ජූලි 06 වැනිදා උපත ලද හෙන්රි ජයසේන සූරීන් සිය අසිරිමත් සෞන්දර්ය කලා මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගොස් මේ වනවිට වසර දහසයකට ආසන්නය. ඉකුත් 06 වැනිදා සමාජ මාධ්‍යයක ඔහුගේ උපන් දිනය පිළිබඳ කළ සටහනක් මා නෙත ගැටිණි. ඒ ඔහුගේ 94 වැනි ජන්ම දින සැමරුම බවද සඳහන් විය. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව, සිනමාව, සාහිත්‍ය මෙන්ම රූපවාහිනි නාට්‍ය ආදී විවිධ සෞන්දර්ය කලාවන් අරබයා හෙන්රි ජයසේනයන් විසින් කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදානයන් ඒ ඒ නිර්මාණ, කලා ක්‍ෂේත්‍රවල සහෘද රසික ප්‍රජාව ඉඳුරා දනිති. තවමත් ඔහුගේ අසාමාන්‍ය නිර්මාණයක් වන ‘හුණුවටයේ කතාව’ වේදිකාගත වේ. හුණුවටය ජගත් කීර්තියට පත් මහා කලාකැරුවකු වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ සුප්‍රකට නාටකයේ සිංහල පරිවර්තනයක් ලෙස හැඳින් වුවද එය පරිවර්තනයේ සීමා ඉක්මවූ සිංහල නාට්‍යයක් ලෙස විචාරකයෝ මෙන්ම ප්‍රේක්ෂකයෝ ද සලකති.
හුණුවටයේ පනස්අට වසරක් රංගනයෙන් දායක වූ තවමත් එහි පූරක භූමිකාව නිරූපණය කරන නිමල් ජයසිංහ අවධාරණය කළේ, හුණුවටය අපේම දේශීය නාට්‍යමය අත්දැකීමකට සමීප වන බවය. මේ ඔහුගේම වචනයි.

‘මං දැනට අවුරුදු 58ක් මේ නාට්‍යයේ රඟපානවා. ඇත්තටම මෙහි පරිවර්තන නාට්‍යයක ලක්ෂණ නැහැ. එය අමුතුම හැඩයක් ගත් නාට්‍යයක්. බොහෝ විට පරිවර්තන නාට්‍යයක් ප්‍රේක්ෂකයාට දැනෙනවා සංවාද වගේ දේවල නිසා. හුණුවටයේ ගැමි වහර, කට වහර හොඳට භාවිතා කරලා තියෙනවා. එය දේශීය උරුවට සමීප නිර්මාණයක්.’
නිමල් ජයසිංහ සමග කිසිවකුට වාදයක් නැත. ඇත්තටම හුණුවටයෙහි සංවාද සරලය. එමෙන්ම උත්ප්‍රාසය දනවනසුලුය. ඒ ගීත අදත් ප්‍රේක්ෂක මුවග රැඳී තිබේ.
යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගයි නිරතුරු
මේ හෙන්රි යොදා ගන්නා බස සරල මෙන්ම උත්ප්‍රාසය දනවන්නක් ද වේ. මේ තවත් කවියකි.
අප්ප උඹේ හොර දෙටුවා
අම්ම හරිම කුණකටුවා
ඒ හින්දා පුතේ උඹට
මුළු ලෝකෙම දණ නමාවි
මේවා සිංහල පොදුජනයා අතර මෙන්ම වෙනත් සමාජ තලවල ද ඇසෙන සරල මෙන්ම සමාජ විවරණයක සංවාද ලෙස ද හැඳින්විය හැකිය. හෙන්රිගේ සංවාදයක, කවියක මොනතරම් ව්‍යංගාර්ථයන් හෙවත් ඇඟවීම් තිබේද? හෙන්රි අප අබියසට පමුණුවන ගෲෂා වරක් මෙසේ තම අප්‍රසාදය තීව්‍ර ලෙස පළ කළ අයුරු මගේ මතකයට නැඟෙයි.
‘ඔහේ පගාකාරයෙක්, කුණු ගොඩවල් අවුස්සන කැර පොත්තෙක්.’

බ්‍රෙෂ්ට්ගේ මෙම කතා පුවත සිංහල සමාජයට ද හුරු පුරුදු සමීප වූවකි. එකම දරුවකුට හිමිකම් කියන ස්ත්‍රීන් දෙදෙනකු පිළිබඳ මේ කතාව උම්මග්ග ජාතකයේ ද එයි. දරුවා හැර දමා ගිය ගැහැනිය හා දරුවා හදා වඩා ගත් ගැහැනිය පිළිබඳ පුවත අපේ කතාවේ ද ඇතුළත් වේ. මෙම නාට්‍යයේදී දරුවා බිහි කළ රජ බිසව කැරැල්ලක් නිසා මාලිගාව හැර යන්නීය. දරුවා හදා වඩා ගන්නී මෙහෙකාර ස්ත්‍රියකි. යුද්ධය නිමවූ පසු දරුවා සොයන්නේ සියලු රජ ඉසුරු ඔහු සමග බැඳී තිබීම නිසාය. බ්‍රෙෂ්ට්ගේ අවධාරණය වූයේ,
“මව්ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවිදන මනාවූ
දිනිය යුතු සේම ගම්බිම්”
යන්නය. බ්‍රෙෂ්ට් සිය සමාජ හා දේශපාලන දැක්ම සිය නිර්මාණවල හරය ලෙස සැලකූ විශිෂ්ට මානවවාදී කලාකරුවෙකි. මා ඔබට උපුටා දක්වන්නේ බ්‍රෙෂ්ට් නමැති ඒ විශිෂ්ට කලාකරුවාගේ හදවත රැව් දුන් මානව දයාව, සමාජ දේශපාලන වගකීම පිළිබඳ ඔහු විසින් අවධාරණය කරන ලද අදහස්වලින් බිඳකි.
“ජාතික රංග කලාව දිරි නොගන්වන හෝ ඊට එකඟ නොවන, නැතහොත් අනුග්‍රහය නොදක්වන ජාතියක් නොමළ මුත් මළවුන් සේය. ඔව්හු මිය යමින් සිටින්නෝය. රටක සමාජයක ප්‍රඥාව වැඩීමට ඉවහල් වන ප්‍රබල හා තීව්‍ර ප්‍රකාශනය ලෙස මම රංග කලාව හඳුන්වමි. ශෝකාන්තවල සිට ප්‍රහසනය තෙක් වූ සෑම රංගනයකටම, සංවේදිතාවෙන් යුතුව කරනු ලබන ආමන්ත්‍රණයකින් ජනතාව ප්‍රඥා සම්පන්න කළ හැකිය. එහෙත් එය නොතකන ජරපත් රංගයකින් සිදුවන්නේ ජාතියක පියාපත් සිඳ දමා ඔවුන් නිර්වින්දනය කර ප්‍රපාතයකට ඇද දැමීමය.

බ්‍රෙෂ්ට් සමග එකඟ විය නොහැක්කේ කලා විදූෂකයන්ට පමණි. කලාව සද් ව්‍යාපාරයක් බව පෙරදිග සියලු ප්‍රාමාණික පඬිවරු ද කවීහු ද පවසති. කලාව ජීවිතයට පහන් වැටක්, ආලෝක ධාරාවක් බව පැවැසූ කලාකරුවෝ ලොවේ තවත් සිටිති. අපේ බොහෝ ගැමි කලාවන් මෙන්ම ඇතැම් පූජා විධිවල ද මෙබඳු ප්‍රබුද්ධ මඟපෙන්වීම් දැකගත හැකිය.
හෙන්රි ජයසේනයන් සිංහල රංගභූමිය ප්‍රඥාවෙන් භාවිත කළ ප්‍රාඥයෙකි. ජනතාව ඥානනය කිරීම සඳහා මෙන්ම ඔවුන්ට සමාජ – දේශපාලනය පිළිබඳව හෘදය සංවාදයක නිරතවීමට නිබඳවම දිරිදුන් විශිෂ්ට ගණයේ සෞන්දර්ය කලා පුරුෂයෙකි. මා දන්නා තරමින් ඔහුගේ ජනකාන්ත කලා භූමිකාව විචිත්‍ර කළ “හුණුවටය” වුවද අතිශය දුලබ කලා නිර්මාණයක් පමණක් නොව, මේ වනවිට පන්දහස් (5000) වරකට නොඅඩුව වේදිකාගත වූවකි. කලකට පෙර හෙන්රි හුණුවටයේ ගෲෂා හා මනමේ නාටකයේ මනමේ කුමරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ද මට සිහිවේ.
හෙන්රි ජයසේනගේ සෞන්දර්ය කලා ජීවිතයේ ඇතැම් සැමරුම් එක් කරමින් ලියන ලද නිම්නැති කතාවක් 1 හා 2 මෙන්ම කරළියේ කතාවක් වැනි කෘතිවල ඔහු තම සහෘද ජනතාවට බොහෝ අනාවරණයන් සිදු කර තිබේ. 1956 දී මනමේ නැරඹූ ඔහු ඇතුළු සගයන් අන්දමන්ද වූ බවත් ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාමයට පත්වූ බවත් හෙන්රි කරළියේ කෘතවේදීව පවසයි. පසු කලක ඔහුට මනමේ කුමරුන්ගේ භූමිකාව සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් ඇරැයුමක් ද ලැබෙයි. ඒ 1957 මැද භාගයේදී පමණය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ කුමාර භූමිකාව රඟපෑ බෙන් සිරිමාන්න ඒ වනවිට ඉන් ඉවත්ව සිටීම නිසා හෙන්රිට ඒ කුමාර භූමිකාව නිරූපණය කිරීමේ දුලබ වරම හිමිවූ බවද ඔහු සඳහන් කරයි. එමතු නොව, ඒ සමග බැඳුණු අපූර්ව සිදුවීම් කිහිපයක්ම හෙන්රි සටහන් කර තිබේ. මෙහිලා ඒවා කෙසේ දක්වම්ද? එහෙත් ම’විසින් ඉහත දක්වන ලද මනමේ හා හුණුවටයේ ස්ත්‍රී භූමිකා ද්විත්වය සම්බන්ධයෙන් ඔහුගේ විවරණය නම් දැක්විය යුතුමය.

හෙන්රිට අනුව මනමේ කුමරිය හා ගෲෂා යන දෙදෙනාම අපට මේ සමාජ සක්මන තුළ හමුවෙයි. එහෙත් ඒ ස්ත්‍රීත්වය අප දෑසට කඳුළක් ද නංවනසුලුය. මෙහිදී ඔහු මනමේ කුමරිය ලෙස රඟපෑ ට්‍රිලීෂියා ගුණවර්ධන (ඒ වන විට අබේකෝන්) හා හුණුවටයේ ගෲෂා ගැන ද මෙබඳු විනිශ්චයක් ලබාදෙයි.
ට්‍රිලීෂියා මා බෙහෙවින් අගයන ඉතා දක්ෂ නිළියකි. මගේ ගෲෂා ගැන ද එබඳුම ඇගැයුමක් කළ හැකිය. එහෙත් ට්‍රිලීෂියාට කිසි දිනක ගෲෂා විය නොහැකිය.
මම ඒ පිළිබඳ විනිශ්චය කියවන ඔබටම භාර කරන්නෙමි. හෙන්රිගේ මේ අවධාරණය සඳහා ඔහුට බොහෝ හේතු සාධකද තිබිය හැකිය. හෙන්රි ට්‍රිලීෂියා සමග මෙන්ම මානෙල් සමග ද මේ සෞන්දර්ය කලා විජිතයෙහි කොපමණ සක්මන් කළ භාග්‍යවන්ත රංග ශිල්පියෙක්ද?

හෙන්රිගේ ප්‍රශස්ත රංග කෘතියක් හෝ බුහුමනට පාත්‍ර වී තිබෙන කුවේණි මෙන්ම ජනේලය, තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන ආදී නාට්‍යමය චමත්කාරය අප අබියසට රැගෙන ඒමට මානෙල් ජයසේන විසින් දක්වන ලද විශිෂ්ට හා අසාමාන්‍ය රංග ප්‍රතිභාව ද විස්මිතය. කුවේණිය එම වසරේ (1963) රාජ්‍ය සම්මාන ගණනාවක්ම හිමිකර ගත් විශිෂ්ටතම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වෙද්දී හොඳම නිළි සම්මානය හිමිවූයේ ද මානෙල් ජයසේනටය. හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යය ද මහාවංශයේ සඳහන් වන ඓතිහාසික පුවතක් ඇසුරෙන් ස්වාධීනව රචනා කර නිෂ්පාදනය කරන ලද්දකි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ කුමරිය පව්කාරියක හෝ වරදෙහි බැඳුණු නැතහොත් පතිවත බිඳගත් ලියක් ලෙස තිබෙන සම්මතය ප්‍රශ්න කරයි. මනමේ කුමරියට දයාව දැක්වීම එදා නෝමන් ගුරුන්නාන්සේගේ නිර්දය විවේචනයට ද ලක්වූවකි.
හෙන්රි ජයසේන ද කුවේණිය දෙස සානුකම්පිතව බලයි. ඇයට හිමිවූ අවමානය යළි විනිශ්චයට භාජනය කරයි. ඇයට ගල් ගැසූ ඇගේ නෑයන්ගේ කුරිරු ක්‍රියාව ඔහු අනුමත නොකරයි. ඔහුට අනුව කුවේණිය මෙලොව සදාතනික ගැහැනිය ද වේ. අපේ ඇතැම් ජනප්‍රවාදවල මෙන්ම බොහෝ විට සම්භාව්‍ය සාහිත්‍යයෙහි ද ස්ත්‍රිය දෙස හෙළුෑ දෘෂ්ටිය යල් පිනූ මෙන්ම වැඩවසම් හා ගතානුගතික ආකල්ප විසින් සමාජගත කරන ලද්දකි. ‘ගැහැනු කව්රුද – වරද නොබැඳෙන’ යන්න තහවුරු කිරීම ඒ බොහෝ සාහිත්‍ය හා ජනප්‍රවාදවල අරමුණ වූ බව ද නිසැකය. එහෙත් ඒ ගතානුගතික දෘෂ්ටිය බැහැර කළ කතා ජාතක පොතෙන් වුවද සොයාගත හැකිය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඔහුගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණවල මෙන්ම පේමතො ජායතී සොකෝ, මහාසාර වැනි නිර්මාණවල ද ස්ත්‍රිත්වයට දැක්වූ දයාර්ද්‍ර දෘෂ්ටියම හෙන්රි කුවේණි, හුණුවටය මෙන්ම අපට පුතේ මඟක් නැතේ හිදීත් දැක්වූ බව අපගේ පිළිගැනීමය. ස්ත්‍රී – පුරුෂ ප්‍රේමයේ සුකුමාරත්වය ද ඔව්හු විඳිති. දකිති. සහෘදයාට හා රසිකයාට ද ඒ චමත්කාරය විඳ ගැනීමට ආරාධනා කරති. ඒ සෞන්දර්යවාදී කලාකරුවකුගේ විලාසයයි.

හෙන්රි ජයසේනගේ දිරිය මව හා ඇගේ දරුවෝ ද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘මදර් කරේජ්’ නාට්‍යයේ අනුවර්තනයකි. මෙය යුද්ධයේ විනාශය පිළිබඳ තීව්‍ර ප්‍රකාශනයකි. මේ නාට්‍යය ලියූ බ්‍රෙෂ්ට්ගේ අවධාරණය වූයේ, මුළු ලෝකයම පණ අදිමින් සිටින බවය. බ්‍රෙෂ්ට්ගේ ජීවිතය යුදවාදී හිට්ලර්ගේ සැහැසිකම්වලින් කම්පා වූවකි. ඔහු හිට්ලර්ගේ ෆැසිස්ට් වාදයට එරෙහි වීම නිසාම ඔහුට ජර්මනිය අනාරක්ෂිත ස්ථානයක් වී ඇත. ඔහු හිට්ලර්ගෙන් මිදී රටින් පලාගොස් සැඟවී ජීවිතය බේරාගත්තෙකි. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණ කීපයක්ම ඒ රහසිගත ජීවිතයේදී බිහි වූ බව ද කියනු ලැබේ. බ්‍රෙෂ්ට් ආපසු ජර්මනියට පැමිණියේ යුද්ධය නිමවූ විටය. ඔහු අවසන් කාලයේ ජීවත් වූයේ නැඟෙනහිර බර්ලිනයේය. හෙන්රිගේ මනරංජන වැඩවර්ජන නාට්‍යය ද එකල ආන්දෝලනයට තුඩු දුන්නකි. කුමක් වුවත් ඔහු බ්‍රෙෂ්ට්ගේ කලාව පදනම් වූ ලෝකය වෙනස් විය යුතුය. ලෝකය වෙනස් කළ යුතුය යන ආස්ථානයට ගරු කළ බව ද පෙනේ. හෙන්රි ජයසේනට බොහෝ වාමාංශික මිතුරන් සිටි බවත් එවක තිබුණු ලංකා මහජන කලා මණ්ඩලය (මෙය සමසමාජ පක්ෂයට අයත් කලා සංවිධානයකි) සමග එක්ව හෙන්රි ඔහුගේ නාට්‍ය ගණනාවක්ම නිෂ්පාදනය කළ බවත් ඔහු පවසා ඇත. එහෙත් ඔහු කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකළ බව ද ඔහු විසින්ම අවධාරණය කරනු ලැබ ඇත. ඔහු බොහෝ පුවත්පත් සාකච්ඡාවලදී පවා සඳහන් කළේ කලාකරුවා සමාජය තුළම ජීවත් වන සෙසු අය මෙන්ම ඒවායින් කම්පා වන්නෙක් බවය. එහෙත් ඔහු ඒ කම්පනය පෙරළා සමාජ අවධානයට ලක්කරමින් ජීවිතයේ යථාර්ථ ඥානය සම්පාදනය කිරීමට කැපවී සිටින්නෙක් බවය.
හෙන්රිගේ ආන්දෝලනාත්මක නාට්‍යයක් ලෙස සංවාදයට ලක්වූ ‘අපට පුතේ – මඟක් නැතේ’ (1968) එකල රජයේ තහනමකට ද ලක්විය. ඒ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම සඳහා රැඟුම් පාලක මණ්ඩලය සමග යුද්ධයකට මැදිවීමට ඔහුට සිදුවූ බව ඔහුගේ නිම් නැති කතාවකි 2 කෘතියෙහි සවිස්තරව දක්වා තිබේ.
මෙරටේ සෞන්දර්ය කලා ක්ෂේත්‍ර ගණනාවකම ස්වකීය අනන්‍යතාව තහවුරු කළා වූ ද ඒවාට විචිත්‍ර හා අර්ථවත් සම්ප්‍රදායන් එක් කළා වූ ද ලූෂන් බුලත්සිංහල – හෙන්රිගේ භූමිකාව ගැන සඳහන් කරන්නේ ඔහු තම සමකාලීන නාට්‍යකරුවන්ට වඩා වෙනස් හා සවීය ලකුණින් නිර්මාණ ක්ෂේත්‍රයෙහි කීර්තියක් දිනා ගත්තකු ලෙසය. විශේෂයෙන් ඔහු සතු කවීත්වය හා සෞන්දර්ය ඇස ඒ කලා වියමන්වලට විචිත්‍රත්වයක් ලබාදුන් බව ද ලූෂන් සඳහන් කරයි. එසේම ඔහු සන්සුන් ගුණයෙන් සපිරි ආදරණීය පාලකයකු ලෙස ද ලූෂන් හඳුන්වයි. ඒ හෙන්රි රූපවාහිනියේ නිලධාරියකු ලෙස සිටි කාලයේ පියකු මෙන් තමන්ට ද පිහිට වූ වාර අප්‍රමාණ බව ද ලූෂන් පවසයි. තමන්ට හෙන්රිගේ නාට්‍ය නිර්මාණවලට දායකවීමට අවස්ථාවක් නොලද මුත් ඔහුගේ නිර්මාණ රසවිඳීමටත් ඒවායේ නිර්මාණාත්මක අගය හඳුනාගැනීමටත් හැකි වූ බව ද ඔහු කියාසිටියේය.

ලූෂන් සමග අපට එකඟ විය හැකිය. නිසැකයෙන්ම හෙන්රි අපූර්ව කවිත්වයකින් සපිරි නාට්‍යකරුවෙකි. සිංහල ජනවහර මෙන්ම ගත් වහර ද මැනවින් යොදාගත් හෙන්රිගේ කුවේණි, ජනේලය, තවත් උදෑසනක් මෙන්ම හුණුවටයේ ද මේ සාධනීය ලකුණු අපට හමු වේ. ජන ජීවිතයට බලපාන වැස්ස, අව්ව, නියඟය ඔහු තවත් උදෑසනක් වැනි කුඩා නාට්‍යයක වුව ද රසික අවධානයට යොමු කරවයි.
රෑ තුන්යම මුහුදු පත්ලෙ යහනෙ නිදන හිරු
අලුයම් කල පිබිදී සිට දෙව්ලොව යන හිරු
අනෝතත්ත විල ජලයේ කිමිඳ නාන හිරු
ස්වර්ණවර්ණ මණ්ඩපයෙන් මෙලෝ බලන හිරු
වැනි කවි සිතිවිලි සොබාදහම, සම්භාව්‍ය කවිසමය පිළිබඳ ඔහුගේ බැඳියාව හා ළැදියාව විශද කරන්නකි.
අලුත් කුසුම් පිපේ
අලුත් සුළං හැපේ
අලුත් ලොවක් සිඹී
උදෑසනක් අලුත්
හෙන්රිගේ තවත් උදෑසනක් නාට්‍ය ගැමි රඟමඬලට ද කදිමට ගැළපේ. නාගරික ප්‍රේක්ෂකයා මෙන්ම ගැමි ජනයා ද මේ සෞන්දර්ය, චමත්කාරය මනාව විඳගනිති.
හෙන්රි ජනසේනයන් බොහෝවිට අවධාරණය කරන නාට්‍යමය චමත්කාරය රසික ජන හදට සමීප කරවීම මෙබඳු නිර්මාණවලින් දැකගත හැකිය. හෙන්රි වඩාත් ප්‍රේකෂක අවධානයට යොමු වන්නේ බ්‍රෙෂ්ට් නාට්‍ය සිංහල වේදිකාවට රැගෙන ආ නිර්මාණකරුවකු ලෙස වුවද ඔහු සිය කවිත්වය හා ජන විඥානය උපයෝගි කරගනිමින් කුවේණි, ජනේලය, තවත් උදෑසනක් වැනි ස්වතන්ත්‍ර නිර්මාණවලින් ද සිංහල වේදිකාව අලංකාර කළේය. සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමියකු මෙන්ම සිංහල නාට්‍යයේ පුනරුත්පත්තිය ලෙස හැඳින්විය හැකි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සමග ඇරැඹෙන නාට්‍ය යුගයේ වඩාත් ප්‍රේක්ෂක රසික ආකර්ෂණය දිනාගත් ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන ආදී විශිෂ්ට නාට්‍යකරුවන් සමග හෙන්රි ජයසේන නාමය ද රැඳෙනු ඇත. මේ නාට්‍යකරුවන් දෙස බලමින් ඉදිරියට පැමිණි පරපුර හැත්තෑවේ දශකයේදීත් ඉන් පසුවත් අපට හමුවෙයි. සිංහල නාට්‍යයේ ස්වර්ණමය යුගය සිහි කෙරෙනවිට කිසිවකුට හෙන්රි ජයසේනයන් ද කිසිසේත් මඟහැර හෝ අමතක කර හෝ යා නොහැකිය. අනෙක් අතට ඔහු අයත් නැතහොත් ඔහු විසින් නියෝජනය කරන ලද පුරෝගාමී නාට්‍යකරුවෝ ද්විභාෂික බුද්ධිමතුන් ලෙස ද කැපීපෙනෙණු, නිදහසේ අපරදිග නාට්‍ය නිර්මාණ ඇසුරු කළ අය ද වූහ. හෙන්රි ජර්මනිය, රුසියාව, එංගලන්තය, චීනය, ජපානය ආදී රටවල සංචාරය කරමින් සිය නාට්‍යමය කුතුහලය සංසිඳවා ගත් ප්‍රාමාණික නාට්‍යකරුවෙකි.

හෙන්රි ජයසේනයන්ගේ රංගකලා භූමිකාව ගැන කෙරෙන ආවර්ජනයකදී ඔහුගේ සිනමා කලා දායකත්වය ගැන ද සැකෙවින් හෝ සඳහනක් කළ යුතුය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙන් රංගකලාව විචිත්‍ර කළ ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයෙන් සිනමා රංගනයට ද මුලපිරුවේය. මනමේ රඟපෑමේදී සමීප වූ ට්‍රිලීෂියා යළිත් ගම්පෙරළියේදී ඔහු සමග රඟපෑම ද විශේෂත්වයකි. ලෙස්ටර්ගේ චිත්‍රපටවල මෙන්ම ධර්මසේන පතිරාජ, ටයිටස් තොටවත්ත වැනි අනෙක් පරපුරේ සිනමාකරුවන් සමග ද හෙන්රි එක්වී ඇත. පතිරාජගේ සොල්දාදු උන්නැහේ, ටයිටස්ගේ ‘හඳයා’ චිත්‍රපට සඳහා හෙන්රි එක්වී ඇත. හඳයා චිත්‍රපටය සඳහා ඉතාලියේ සෙලාර්නෝ ජාත්‍යන්තර ළමා හා යෞවන චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය ද හිමිවිය. ජනතා පරමාධිපත්‍ය පිළිබඳ මායාව, නැතහොත් රැවටීම ජනතාවගේ අවධානයට ලක්කරන පතිරාජගේ සිනමා කෘතිය උත්කර්ෂයට නැංවීම සඳහා එහි රඟපාන ජෝ අබේවික්‍රම, හෙන්රි ජයසේන, මාලිනී ෆොන්සේකා මෙන්ම නීල් අලස් ද සිය උපරිම රංගන දායකත්වය ලබාදෙති. හෙන්රි රඟපෑ බැද්දේගම මෙන්ම සොල්දාදු උන්නැහේ ද විචාරක පැසසුමට ලක්විය. මේවාට අමතරව හෙන්රි වෙළඳ චිත්‍රපට ගණනාවකම රඟපා ඇත.
චිත්‍රපටවලට මෙන්ම රූපවාහිනි ටෙලිනාට්‍ය සඳහා ද ඔහු විසින් එක් කරන ලද රංග ප්‍රතිභාව විශිෂ්ටය. දූ දරුවෝ මාලා නාටකයේ එන සුදු සීයා රූපවාහිනි ප්‍රේක්ෂකයාගේ මතකයෙන් කිසිදිනක බැහැර නොවන චරිතයකි.
මේ සටහන අවසන් කිරීම සඳහා මා තෝරා ගත්තේ හෙන්රිගේ නාට්‍ය භූමිකා විචිත්‍ර කළ විජයරත්න වරකාගොඩගේ වචන කීපයකි. වරකාගොඩ යනු චිත්‍රපටය, නාට්‍ය මෙන්ම ගායන කුසලතාව ද ඊට අමතරව ගුවන්විදුලි නාට්‍ය ශිල්පියකු ලෙස ද ජනප්‍රියත්වයට පත්ව සිටියි. වරකාගොඩ හා හෙන්රි අතර ඇති බැඳීම් හා ආවර්ජනයන් ද බොහෝය. මේ ඉන් බිඳකි.

“ඇත්තටම මට හමුවූ අපූර්ව සෞන්දර්යවාදියකු ලෙස මම හෙන්රි ජයසේනයන්ට ගරු කරන්නෙමි. ඔහු නිසැකයෙන්ම කලාව භාවිත කළේ ප්‍රේක්ෂකයන් පිනවීමටත් ඔවුන් ඥානනය කරවීමටත් ය. ඔහුගේ හුණුවටය මෙන්ම අපට පුතේ මගේ රංගකලා ආත්මය සමග බැඳී තිබෙන අයුරු විස්මයජනකය. පොතේගුරු භූමිකාව පූරක ලෙස නවීන අලංකාරයක් සහිතව යළි වේදිකාවට එක් කරනු ලබන්නේ ද හෙන්රි ජයසේනයන්ය. මම ඔහුගේ කුවේණි නාට්‍යයේ ද පූරක භූමිකාව පණගැන්වීමි. ඒ දෙවන නිෂ්පාදනයේදීය. තවත් උදෑසනක්හි බිංදු වූයේ ද මා ය. ඔහු නිදහස්ව නළු නිළියන් හසුරුවන විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකි. ආදරයේ දයාවේ උල්පත් ඔහුගේ හද තුළින් ගලා යයි. නිසැකයෙන්ම හෙන්රි ජයසේනයන් යනු මගේ සෞන්දර්ය කලා ජීවිතයේ පමණක් නොව සැබෑ ජීවිතයෙහි ද කොටසකි. ඔහුගේ භාෂා විශාරදත්වය මෙන්ම ජාතික සංස්කෘතික වටිනාකම් කෙරෙහි දක්වන ගෞරවය ද මම මහත් සේ අගය කරමි.
හෙන්රි ජයසේනයන් වරක් සඳහන් කළේ වේදිකාවේ පෙනී සිටින ගැහැනුන් හා මිනිසුන් ගල්ලෑල්ලක ලියූ අකුරු මකා දමන්නාක් සේ මකා දැමිය නොහැකි බවය. වේදිකාව ගලන ගඟක් වැනිය. වරෙක සන්සුන්ව ද වරෙක කම්පිතව ද ගලා යන ඒ රිද්මයට මම පෙම් බඳිමි” හෙන්රි පවසා ඇත.
හෙන්රි ජයසේන යනු යුගකාරක කලාකරුවකුගේ භූමිකාව ද සැමරුම් ද අපට ඉතිරි කර දිවි රඟමඬලින් බැස ගිය විශිෂ්ටයෙකි. ඒ මෙයට දහසය වසරකට පමණ පෙරය. ජීවිතය ඉල්ලා මැරෑ ඔහු පසුපස ගමන් කරද්දීත් අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දීමට ඔහු සමත් විය. ‘බාල්හ ගිලානෝ’ යන කෘතිය ඒ අධිෂ්ඨානයේ ඵලයකි. එවන් සුපුෂ්පිත කලාකරුවෝ අතිශය දුර්ලභය හ.
● ගාමිණී සුමනසේකර