ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ශ්‍රී ලංකාවට කැඳවීමෙන් පසු හිස් වූ මහා කොමසාරිස් තනතුරට පත් කරන ලද නිමල් සේනාධීර මහතා පසුගිය සඳුදා චාම් උත්සවයක් මධ්‍යයේ වැඩ භාර ගත්තේය.
මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරීන් සහ සේවකයින් ඇමතූ සේනාධීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රතිපත්ති අනුව යමින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට සියළු දෙනාම එක්සිත්ව, එක්සත්ව වැඩ කළ යුතු බවයි. එසේම ශ්‍රී ලංකාවේ ජනයා නව රජය කෙරෙහි මහත් බලාපොරොත්තු තබා ඇති බවත් ශ්‍රී ලංකාව සුඛිත මුදිත කර ගැනීම සඳහා මහා කොමසාරිස් කාර්යාලයට කළ හැකි සෑම ක්‍රියාවක්ම උපරිම අන්දමින් සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සේනාධීර මහතා චාරිත්‍රානුකූලව පොල් තෙල් පහනක් දල්වා වැඩ ආරම්භ කළ අතර රැස්ව සිටි පිරිසට කිරි බත් සහ කැවිලි සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි.
සේනාධීර මහතා සහ එම මහත්මිය ලන්ඩනයට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට ගොස් සිටියේ එංගලන්තයේ විදේශ අමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකුවූ ගෝඩන් වෙදරල් මහතාය.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව සවස් වරුවේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ලන්ඩන් බෞද්ධ විහාරයට යාමට නව මහා කොමසාරිස්වරයා අමතක නොකළේය. එහිදී ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩ බලන විහාරාධිපති තවලම බන්දුල හිමියෝ, ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති කඹුරාවල රේවත හිමියෝ සහ කේම්බ්‍රිජ් බෞද්ධ විහාරයේ විහාරාධිපති මතුගම පාලිත හිමියෝ පැමිණි සිටි පිරිස පංච සීලයෙහි පිහිටුවා පිරිත් සජ්ජායනා කොට නව මහා කොමසාරිස්වරයාට සෙත් පැතූහ.
සඳුදා උදේ වරුවේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා වික්ටෝරියා බස්බි මහත්මිය හමුවූ සේනාධීර මහතා තෙවෙනි චාල්ස් රජු හමුවී අක්ත පත්‍ර ප්‍රදානය කිරීමට පෙර භාර දෙන ලියකියවිලි භාර දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චාල්ස් රජුට සහ බ්‍රිතාන්‍ය වාසීන්ට තම සුබ පැතුම් එවූ බව සේනාධීර මහතා බස්බි මහත්මියට ප්‍රකාශ කළේය. එම සුබ පැතුම් තමා පිළිගන්නා බවත් සේනාධීර මහතාට තම රාජකාරිය කරගෙන යාම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බස්බි මහත්මිය පැවසුවාය.
සේනාධීර මහතා වසර විස්සකට වඩා වැඩි පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරියෙකි. මීට පෙර ඔහු දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේද සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ද, ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙන් සහ එක්සත් රාජධානියේ ස්ට්‍රැත්ක්ලයිඩ් යන විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි ත්‍රිත්වයක් ලබා තිබේ. ඔහු තම මූලික උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි.
ඉරිදා දිවයින හා කතා කළ සේනාධීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියළුම ශ්‍රී ලාංකිකයින් ගේ සහයෝගය තමා බලාපොරොත්තු වන බවයි.