මේ ජීවිතය ඉතා කෙටි වූවකි. උපත හා මරණය අතර ගමන් කරන අප ඒ පිළිබඳ මැනවින් අවබෝධ කරගත යුතුය. අවබෝධය නොමැති කල්හි ඇති වන්නේ නොයෙක් ගැටුම්ය. ඒ බව නූතන සමාජය තුළින් කදිමට තහවුරු වනු ඇත. විශේෂයෙන් ගුණධර්ම පිරිහී ඇති කාලසමයක මිනිසා මීට වඩා මිනිසත් භවයෙහි අගය වටහාගත යුතු අතර සියල්ල මරණින් කෙළවර වන බවද තේරුම් ගැනීම බෙහෙවින් වැදගත් වූවකි. නොමැති නම් සමා්ජය තවදුරටත් පිරිහීම කෙසේ හෝ වැළැක්විය නොහැක්කකි.
“මේ අහසට පොළොවෙන් නඟින්නෙම එක දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපෙ විමානයයි
ඔය කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි…”
මෑත කාලයේ අසන්නට ලැබුණු ඉතා අර්ථවත් ගීතයක මුල් කොටස ඉහත දැක්වේ. තරුණ යතිවරයන් වහන්සේනමක් අතින් ලියවුණු මෙකී ගීතය තුළින් නූතන සමාජයෙහි ගැබ් වී ඇති සමාජ යථාර්ථය ඉතා කදිමට පෙන්වා දෙනු ලබයි. ධර්ම දේශනා සිය ගණනකින් පෙන්වා දෙන ජීවිතයන්හි පවතින සැබෑ තත්ත්වය පෙන්වා දීමට තරම් මෙම නිර්මාණය සමත් වී ඇති බව නම් සැබෑවකි. මිනිසා සමාජයෙහි මෙසේ ජීවත් වුවද මරණින් පසු සතියක් යන විට සියල්ල අමතක වී යන බව නම් පුන පුනා කිව යුතු නොවෙයි. ඒ තුළින් අර්ථවත් වන්නේ අන්කිසිවක් නොවේ. සමාජයෙහි ජීවත් වන බොහෝ දෙනාට ඉතා කෙටි කාලයක් තුළ කෙළෙහිගුණ අමතක වී යෑමයි. කෙලෙස ජීවත් වුවද අවසානයෙහි පුද්ගලයාට උරුම වන්නේ මරණින් පසු සුසානය පමණක් වන බව නිර්මල බුද්ධ දේශනාවයි. අකෘතඥ මිනිසුන් බහුල වශයෙන් දිවි ගෙවන වත්මන් සමාජය කෙතරම් පිරිහී තිබේද? බොරුව, වංචාව, සොරකම රජකරන පුද්ගලයාට එලෙස වැඩිදුරක් ගමන් කිරීමට ද නොහැකිය. මෙකී සමාජ යථාර්ථය අද වනවිට කොතරම් දුරට සත්‍ය වන්නේ ද යන්න බොහෝ කරුණු කාරණා නිසා කදිමට තහවුරු වනු ඇත.
අප තථාගත බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේවතා සංයුත්තයේ දැක්වෙන “ජටා” සූත්‍ර දේශනාව තුළින් පුද්ගලයා ගැටලු හෙවත් කෙලෙස් නිසා විනාශ වන අයුරු ඉතා මැනවින් පෙන්වා දෙනු ලබයි.
“අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා” මෙහි “ජටා” යනු, බුදු දහමෙහි උගන්වන ගැඹුරුම අරුත නම් කෙලෙස් යන්නයි. ජීවිතයේ පුද්ගලයා මුහුණ දෙන විවිධ අභ්‍යන්තර හා බාහිර ගැටලු නිසා කොතරම් දුරට පිරිහී තිබේද යන්න නූතන සමාජය තුළින් කදිමට පැහැදිලි වනු ඇත.
උපත ලබා කෙටි කලක් ජීවත් වන අප සියල්ල මරණනේ කෙළවර වේ. මෙකී යථාර්ථය බොහෝ පිරිසකට අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම නිසා මුළු මහත් සමාජයම අවුල් ජාලාවක් වී හමාරය. ඈත අතිතයෙහි මිනිසා ගෙවනු ලැබුවේ බොහෝ සැහැල්ලු දිවිපෙවෙතකි. එහෙත් අද වනවිට සමාජ දියුණුව ඔස්සේ පුද්ගලයා සැහැල්ලු බවින් බොහෝ ඈතට ගොස් සෑම අතින්ම අන්ත පරිහානියක් ලබා ඇති බව නම් රහසක් නොවේ. අප බුදු රදුන් පෙන්වා වදාළ බොහෝ ගුණ ධර්මයන් පසෙකලා ක්‍රියාකිරීම තුළ මිනිසා ලබා ඇති පිරිහීම කොතරම් දුරට ව්‍යාප්ත වී තිබේද? යන්න තවදුරටත් සඳහන් කළ යුතු වන්නේ නැත.
“සබ්බේ සංඛාරා අනිච්චති – යදා පඤ්ඤාය පස්සති” සියලු සංස්කාර ධර්මයෝ නැසෙන බවත් එය නුවණින්ම වටහාගත යුතු බව තථාගත බුද්ධ දේශනාවයි. උපන් අප සැවොම ඉතා කෙටි කලක් තුළ මරණින්ම කෙළවරවෙති. රැස්කරන ලද සියල්ල එක මොහොතින් දමා යන අප නිරතුරුවම රැස් කළ යුත්තේ කුසල ධර්මයෝය. ධනය, බලය, උඩගු බව ආදී ළාමක ධර්ම අපගේ විනාශය සඳහාම හේතු වන බව නුවණින් අවබෝධ කරගන්නාතුරුම මෙම බියකරු සසර ගමනෙහි ඉපදීම හා මරණය ආදියට මුහුණ දීමට සිදුවෙති. මේ නිසා අප ලැබූ මිනිසත් භවයෙහි අගය මැනවින් වටහා ගැනීම නූතන අවශ්‍යතාවයකි. අකෘතඥ මිනිසුන් බහුතරයක් දිවි ගෙවන සමාජතලයක සියල්ල සතියෙන් අමතක කර දමන තත්ත්වයටම පිරිහී තිබීම බෙහෙවින් කනගාටුවට තුඩු දෙන්නකි.
“ධම්මෝ හවේ රඣති ධම්මචාරී” යන බුද්ධ දේශනාවට අනුව, ධර්මයට අනුව දිවි ගෙවන පුද්ගලයා ධර්මය තුළින්ම ආරක්ෂා කරන බව දක්වා ඇත. “ධම්ම දෙස්සී පරාභවෝ” ධර්මයට ද්වේශ කරන්නා පිරිහීමට පත්වීම ඉතා වේගයෙන් සිදුවේ. මෙකී ජීවන යථාර්ථය – උපන් අප සැවොම සියල්ල මරණින් කෙළවර වන වගක් ජීවත්වන මේ කෙටි කාලය තුළ කෙසේ දිවි ගෙවිය යුතුද යන්න මනාව අවබෝධ කරගත යුතුය. නොමැතිනම් දිනෙන් දින සිදුවන මෙකී සමාජ පරිහානිය කෙසේ හෝ වැළැක්විය නොහැකි බව නම් සැබෑවකි.
දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි