රිළවුන්ගෙන් සිදුවන හානිය පාලනයට රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කර රිළවුන් ගාල් කිරීමට පියවර ගනිමින් ඇත.
නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට හඳුනාගෙන ඇත. ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදි කිරීමට තෝරාගෙන තිබෙන බව දෙපාර්තමේන්තුව කියයි.
වර්තමානය වන විට රිළා ගහනය දරාගත නොහැකි බවත් රිළා – මිනිස් ගැටුම් උග්‍රවීම, දේපළ, වගා හානිය තීව්‍ර වී රටට දැඩි ආර්ථික හානියක් සිදු වෙමින් තිබෙන බවත් සිදු කළ විද්වත් පර්යේෂණවල දී අනාවරණය වී ඇත.
ඉදිකිරීමට යෝජිත රිළා රැඳවුම් මධ්‍යස්ථානය සඳහා වන ජීවී සංරක්ෂණ අමාත්‍යාංශය නිර්දේශ දී තිබෙන අතර මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය පසුගිය 05 දා ලැබිණි. මැලේසියාව ඇතුළු රටවල් කීපයක මෙවැනි රැඳවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව කමිටුවේ දී වන ජීවී අඩවි ආරක්ෂක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවැසීය.
රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87 ප්‍රතිපාදන වෙන් කර ඇත. හානිකර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානය මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමට තීරණය කර ඇත.
ගාල් කෙරෙන රිළවුන් යළි පරිසරයට පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදි කෙරේ. තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීම තීරණ කර ඇති බවත් සඳහන් ය. එක් රිළවකු සඳහා දිනකට ග්‍රෑම්ස් 70 ක ආහාර ප්‍රමාණවත් වන බව වන සත්ව අඩවි ආරක්ෂක පැවැසීය.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව පැවැත්විණි.
නිමල් ගුණතිලක