සමුද්‍රීය අපරාධ මැඬපැවැත්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ‘106’ දුරකථන අංකය වෙත ක්ෂණික ඇමැතුම් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සමග මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මෙය ක්‍රියාත්මක කර ඇත.
මේ පිළිබඳව ඒකාබද්ධ වූ නිවේදනයේ මෙසේද දැක්වේ.
පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ගොඩනැඟුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ හැකියාවන් පිළිබඳ විශාල ඉදිරි පිම්මක් සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින් ඉහළ කාර්යසාධනයක් සහිත ස්ටැබික්‍රාෆ්ට් මුර සංචාර යාත්‍රාවක් (Stabicraft) පිරිනමන ලදී. එමෙන්ම දිසි රැළ වැඩසටහනේ අනාගත ප්‍රවේශයක් ලෙස රුපියල් මිලියන 12ක වටිනාකමින් යුතු දියුණු තාක්ෂණයෙන් නිමවූ “නිරීක්ෂණ ඩ්‍රෝන යානා” සහ “සමුද්‍රීය නිරීක්ෂණ උපකරණ”ආදි මෙවලම් රැසක් ලබාදීමටද ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ.
‘සමුද්‍රීය පරිසරය පිළිබඳ විමසිලිමත්භාවය’ සහ අර්ථයෙන් අරුත් ගැන්වෙන දිසි රැළ ඔස්සේ නීති විරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සිය ඒකාබද්ධ මෙහෙයුම් ඔස්සේ දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ. බුද්ධි අංශවල සහයෝගීතාවය දියුණු උපකරණ සැපයීම සහ ප්‍රජා සම්බන්ධතා සවිමත් කිරීම හරහා මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතියට පටහැනි අපරාධයන් මැඬපවත්වෙමින් කලාපීය සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීමට රටවල් ද්විත්වය විසින්ම එක්ව කටයුතු කරනු ලැබේ.
සුජීව තත්සර