මාලිනී ෆොන්සේකා හෙවත් ‘මාලිනිය’, සිනමා රසිකයින් වශයෙන් අපගේ සිත්සතන් තුළ අමතක නොවන මතක සටහන් තැබූ මහා නිරූපණ ශිල්පිනියකි. OCIC සම්මානයෙන් පවා පිදුම් ලද මහා රංගවේදිනියකි. රටටත් සමාජයටත් තමන්ටත් සුවිශාල සේවාවක් ඉටු කළ මේ මහා කලාකාරිනිය අනාගත පරපුරට මහා රංග ශිල්පශාලිකවක් බඳු වූ සිය රංග ලීලාව පමණක් ඉතිරි කර නික්ම ගියාය.
ඇයට කිසිදු ගුරුකුලයක් හෝ රංග ශිල්පශාලිකාවක් ද නොවීය. පාසල් වේදිකාවෙන් මහා වේදිකාවටත් ඉන් අනතුරුව සිනමාටත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් පිවිසුණු මාලිනීි, දසක පහකට අධික කාලයක් සිංහල සිනමා ක්ෂේත්‍රයෙහි සැරිසරමින් පැමිණ ඇත්තේ මල් මාවතක නොවේ. දුක වේදනාව, ජය පරාජය සියල්ල මධ්‍යයේ ගිය දුෂ්කර ගමනක මාලිනීි නොහොත් මාල ගොතන්නිගේ කතාව තවත් එක් සිනමා වෘත්තාන්තයක් බඳුය. මේ කෙටි අතීතාවලෝකය තුළින් මතුකිරීමට උත්සහ කරන්නේ ඇය අපට ඉතිරි කර ගිය සිනමා දායාදය ගැනයි.
සිංහල සිනමාවේ කිතුනු සලකුණු තැබූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා, මාලිනී ගැන වරක් මෙවැනි සටහනක් තබයි. “ඉතා ජනප්‍රිය ඉන්දියානු නිළියන් සියල්ල පරදවමින් මාලිනී, ලංකාවේ ජාතික මෙහෙවරක් ඉටු කළේ අද නිරූපණය කරන හොලිවුඩ් බොලිවුඩ් හෝ වෙනත් රටක ඉතා උතුම් චරිත නිරූපණය කළ නිලියන් වශයෙන් නොවේ. අපේම කිවහැකි චරිත රාශියකිනි. ඒ හැම චරිතයක් තුළම “අපේකම”ඉස්පිල්ලක් පාපිල්ලක් තුළ අති දක්ෂ අන්දමට නිරූපණය කිරීමට, ඇය ලත් අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගැනීම ගැන සිනමා උත්සවවලදි විනිශ්චයට හවුල් වූ උගතුන්ගේ නිගමනයන් මගින් ප්‍රචලිත කළාය.”
හෙළ සිනමාවේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස්, ඉන්දියානු මහා සිනමාකරු සත්‍යජිත් රායි, මාලිනිය ගැන දැක්වූ ප්‍රශංසාත්මක අදහස් මෙලෙස සටහන් කර තිබේ.
“මා බොහෝ විට දැක ඇත්තේ මේ අවට සිටින නිළියන් සහ තිරයේ සිටින චරිත පෙනුමෙන් එකම පුද්ගලයන් වීමයි. කොච්චර හොඳ බෙංගාලි නිලියක වුණත්, ශ්‍රී ලාංකික චිත්‍රපටයක මාලිනී වගේ පෙනුම වෙනස් කරන්න කවදාවත් ඉඩ දෙන්නෙ නෑ. මගේ චිත්‍රපටයකවත් නැහැ. ඇය මා පුදුමයට පත් කළා” ලෝකයේ ශ්‍රේෂ්ඨතම අධ්‍යක්ෂවරයකු එසේ පවසන්නේ විශේෂයෙන් තමා
සජීවි ව දුටු මාලනිය හා තිරයේ දුටු රන් මැණිකාගේ ප්‍රතිරූපය ගැනයි. මෙය ඔහු අපට දුන් තවත් සම්මානයක් වන බව ලෙස්ටර්ගේ මතයයි.
මාලිනිය ජනප්‍රිය සිනමාව මෙන්ම ප්‍රබුද්ධ සිනමාව ද එක සේ ජයගත් වාසනාවන්ත නිළියක් හැටියට හැඳින්විය හැකිය. ඇයගේ රංගන දායකත්වය ලත් වාණිජ රැල්ලේ චිත්‍රපට බොහෝමයක් ආදායම් වාර්තා බිඳ හෙළීමට සමත් වූවා මෙන්ම, ප්‍රබුද්ධ සිනමා නිර්මාණ ගණනාවක් ජාත්‍යන්තර තලයේ සම්මානයට පාත්‍ර වුණු බව රහසක් නොවේ. එතෙක් මොස්කව් චිත්‍රපට උළෙලේ සොෆියා ලොරේන්ට පමණක් හිමි ව රඟපෑම පිළිබඳ ඩිප්ලෝමාව, ධර්මසේන පතිරාජගේ සිනමා නිර්මාණයක් වූ “එයා දැන් ලොකු ළමයෙක් ” සිනමා පටයේ මාලිනීගේ රඟපෑම වෙනුවෙන් දිනා ගැනීමට සමත් වුණි.
මාලිනීගේ සිනමා සම්ප්‍රදානය තුළ ‘දෙවියනි ඔබ කොහේද ?’ සිනමා නිර්මාණය අමතක කළ නොහැක. ධීවර ගම්මානයක කිතුනු පරිසරයක දිවි ගෙවන අහිංසක භක්තිමත් තරුණියක වූ එළිසබෙත් පල්ලියේ සහායක බොනී නම් තරුණයා සමග ඇති වී තිබෙන ප්‍රේම සම්බන්ධය දුරදිග යාම හේතුවෙන් අනිසි ගැබ් ගැනීමකට ලක්වෙයි. ඉන් බියට පත්වන බොනී ගමෙන් පැන යයි. එලිසබෙත් දේවස්ථානයට ගොස් සෙබස්තියන් පියතුමාගේ පිහිට පතයි. නිතර පියතුමා හමුවට යෑම ගැන ගම්වාසින්ගේ සිත් තුළ පියතුමා කෙරෙහි සැකයක් උපදියි. මේ නිසා කෝපයට පත් වන ගම්වාසීහු සියලු චෝදනා පියතුමා පිට පටවා පහර දී ගමෙන් එළවා දමති. එහෙත් සත්‍ය හෙළිදරව් වෙයි. ඇයට හදි කළ තරුණයා සොයා ගන්නා පියතුමා ගම්වාසීන්ට සත්‍ය හෙළිකර දී සියල්ල සමතයකට පත් කරයි. එදා මාලිනී, තරුණ එළිබෙත් ලෙස දැක්වූ රංගන දායකත්වය අමතක නොවන අත්දැකීමක් වුණි. එදා පියතුමාගේ චරිතයට පණ පොවමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණි ෆොන්සේකා ය. එම චිත්‍රපටයෙන් මතුවු“ආදර පූජාසනේ” නම්වූ ඒ සුන්දර ගීතය අදත් අපගේ සවන් තුළ දෝංකාර දෙයි. තවදුරටත් ඇය බොදුනු ආරාමයක ප්‍රධාන මෙහෙණින්වහන්සේ ලෙස පෑ රංගනය ද ධර්ම සත්‍යතාවයන් කෙරෙහි ඇය තුළ පැවැති අවබෝධය ප්‍රකට කළාය.
පතිරාජගේ බඹරු ඇවිත් හී ධීවර ගම්මානයක කතෝලික පරිසරයක ජීවත් වන තරුණ හෙලන් තමා සමග එකට හැදී වැඩුනු පෙම්වතා සිරිල් අමතක කර සිදාදියෙන් ආ ජේත්තුකාර තරුණයා හා බැඳෙන චරිතය මගින් ද මාලනිය එම චරිතය තුළින් අපූර්ව රංග ලීලාව මතු කරයි. සොල්දාදු උන්නැහේ සිනමා පටයේ එන කොළඹ කොටුවේ ලයිට් හවුස් එක යට සිට සලෙලුන්ට අත වනන ප්‍රේමක්කාගේ චරිතයන්, මාලිනීගේ රංගන ජීවිතයේ ඉන්ද්‍රකීලයන් ය. මේ මහා රංග ද්විත්වය වෙනුවෙන් ඇය දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වුණි.
තවදුරටත් ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ, බැද්දෙගම චිත්‍රපටයේ සිය දෙමව්පියන්, තම ස්වාමියා සියල්ලන් අහිමි ව වනාන්තරයට බිලි වන අවාසනාවන්ත ගැහැනියකි. දෙස් විදෙස් විචාරකයින්ගේ අගැයුමට හා සම්මානයට පාත්‍ර වු “නිධානය” සිනමා වෘත්තාන්තය ලෝකයේ උසස්තම චිත්‍රපට ලැයිස්තුවට එක්වීම දේශීය සිනමා කර්මාන්තය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය. මාලිනිය එහි අයිරින් නම් වූවා ය. ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ නිධානය චිත්‍රපටයට පාදක වූයේ ජී බී සේනානායකගේ කෙටි කතාවකි. විලී, අයිරින් නමැති අහිංසක යුවතිය රවටා ආවාහ කර ගනී. ඇය නිධානයකට බිල්ලක් වී ඇති බව ඇය නොදනියි. එහි අවසාන ජවනිකවේ දී ඇයගේ ශීර්ෂ කොටස පමණක් තිරය මත දිස්වෙන ජවනිකාවේ දී ඇය බිය ශෝකය සංත්‍රාසය මුසු සාත්වික අභිනය තුළින් ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරයි.
මාලිනියට පමණක් ආවේනික ඇගේ සරල රංග ලීලාව තුළ ප්‍රකට කරන්නේ මනුෂ්‍යත්වය ආදරය හා කරුණාවයි. මෙහි යට දැක්වූයේ ඒ මහාරංග සම්ප්‍රදායෙන් බිඳක් පමණි. “ජීවිත වන්දනාවේ ඕනෑම චරිතාංගයක් ප්‍රති නිර්මාණය කිරීමට ඇයට තිබූ ශක්‍යතාවය ලංකාවේ වෙනත් කිසිම නිළියකට නො තිබිණි. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට ලංකාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලැබුනේ ඒ නිසාය. ”ප්‍රවීණ රංගධර ඩබ්. ජයසිරි සටහන්කර තිබිණි.
නිළියක් යනු චිත්‍රපට, රූපවාහිනිය, රංග භූමියක සහ තවත් අනුශාංගික මාධ්‍යවල රඟපාන වෘත්තීයමය හෝ වෘත්තීමය නොවන රංගන ශිල්පිනියකි. ඔවුන් තම රංගනයන් තුළින් චරිතයක් අර්ථ නිරූපණය කිරීම සහ එයට ජීවය කැවීම මෙන්ම, හැඟීම් ප්‍රකාශ කිරීම සහ සතර අභිනය හරහා අධ්‍යක්ෂවරයාගේ සිතේ ඇඳුණු ආලේක්‍ය චිත්‍රය ප්‍රතිනිර්මාණය කරන හා එයට වගකිවයුතු තැනැත්තිය ය. එය සැහැල්ලු කාර්යයක් නොවන බව මාලිනීගේ රංග ලීලාව සාක්ෂි දරයි. මේ අනුව නිළියක්වීම පහසු කාර්යයක් නොවේ.
නව තාක්ෂණය මුසු රූපලාවන්‍ය වෙස් මුහුණකින් හා නව විලාසිතාවකින් සැරසී සුහුරු ෆෝනයක් අතින් ගත් පමණින් නිළියක් විය නොහැකිය. මාලිනියගේ රික්තය පුරවන්නට පෙරට එන අංකුර නිළි ප්‍රජාව මෙම කාරණය හොඳින් වටහා ගත යුතුය. මාලිනිය දෙරණේ මහා නිළි
රැජින බවට පත්වූයේ සිය චරිතවලට සාධාරණත්වය ඉටු කළ නිසා මිස ඉන්ද්‍රජාලමය බලයකින් නෙවේ.
මහා කවි විලියම් ශේක්පියර් ලියා ඇති පරිදි “ලෝකය එකම රඟ මඬලකි. අපි එහි නළුවෝ වෙමු” නිළි රැජින මාලිනී පසුගිය සැදෑවක හිරු බැසයන යාමයේ ප්‍රේක්ෂක අපගෙන් සමුගෙන මහා වේදිකාවෙන් බැස ගියාය.
ඩඩ්ලි පෙරේරා