සියම් මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනාහිමි ධුරයට පත්වූ ළාබාලතම හිමිනම ලෙස ඉතිහාසගතව සිටින අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 81 වැනි ජන්ම දිනය අදට (30දාට) යෙදී ඇත.
වසර 2004 ජූනි 04 වැනිදා උන්වහන්සේ 26 වැනි මහනාහිමි ලෙස මහානායක ධුරයට පත්වූයේ එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් සියලු දෙනා වහන්සේගේ සමාන ඡන්දයෙනි.
1944 මැයි මස 30 වැනිදා උපත ලද උන්වහන්සේ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයේ වැඩ විසූ අතිපූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ සරණංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර රිදී විහාරයේ නායක මාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක ලෙස පැවිදි දිවියට එළඹියහ. වර්ෂ 1957 ජුනි මස 10 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී පැවිදි දිවියට එළඹි උන්වහන්සේ, 1964 ජුනි මස 10 වැනිදා වාහල නාග නාමයෙන් උතුම් වූ උපසම්පදාව ලැබූහ.
වර්ෂ 1985 නොවැම්බර් මස 09 වැනිදා සිට මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරයේ කටයුතු කළ උන්වහන්සේ 1992 මැයි මස 13 වැනිදා අනුනායක පදවියට පත්වූහ.
සමන්ති වීරසේකර