ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සමග ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ, ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිවැරදි නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අවධානයට ලක් කර ඇත.
මේ ගැන සමාලෝචනයෙන් පසු මෙම නිවැරදි නොවන තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසන මූල්‍ය අරමුදල කියා සිටින්නේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළ බවයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, ඩසසස වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවිය.
ජා.මූ. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති අතර, රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තාකිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු විය.
පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදුකිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලන ලදී.
ඒ අනුව අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, viii වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළේය.”
ශ්‍යාම් නුවන් ගනේවත්ත