රෝහල්වල ඉදිකිරීම් දීර්ඝකාලීනව ප්‍රමාද වීමෙන් ගැටලු ගණනාවක් මතුවන බවත් මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේදී සිදුවන ප්‍රමාදය අතිශය කණගාටුදායක කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03 දා) එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී ඇති බවත්, සමහර ඉදිකිරීම් මීට වසර 08කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50ක 60ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත්, එය විශාල ගැටලුවක් බවත් සඳහන් කළේය. එමෙන්ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එයද ඉතා කණගාටුදායක තත්ත්වයක් ලෙසද ඇමැතිවරයා පෙන්වා දෙන ලදී.

මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේදී මෙන්ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ ඇමැතිවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩිකර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බවද මෙහිදී පැවැසීය. මින් ඉදිරියට රජය අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඇමැතිවරයා ඒ අනුව ජනතාවටද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බවද පැවසී ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා සෞඛ්‍ය උපකරණ ලබාදීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ ඇමැතිවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද පැවසීය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින්ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බවද පැවසීය.

රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80ක ධාරිතාවකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩි සත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින්ද යුක්ත වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීමද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.