2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 116.6 ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර 2006 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 116.6 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඉහළම සහ විශාලතම ජීවිත රක්ෂණ ප්‍රසාද දීමනාව ප්‍රකාශයට පත් කරමින්, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා ලෙස රක්ෂණ ඔප්පු හිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කරයි. විවිධ ආර්ථික සහ සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය වත්කම් පදනම රු. බිලියන 238.6 ක් සහ ජීවිත අරමුදල රු. බිලියන 213.2, දක්වා ඉහළ නංවාගනිමින් ශක්තිමත්ම දේශීය රක්ෂණකරු ලෙස එහි තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වී තිබේ. පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දල වශයෙන් මාසිකව රු. බිලියනයකට අධික ප්‍රතිලාභ හිමිකම් ලෙස ගෙවනු ලබන අතර වාර්ෂිකව එය රු. බිලියන 12.9 ක් පමණ වේ. සමාගමේ ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් එහි රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරයි.
දශක 6 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෑම විටම තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට බැඳී සිටි. විවිධ අභියෝග මධ්‍යයේ වුවද තම පාරිභෝගිකයන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට නිරන්තරයෙන් කටයුතු කර ඇත. ආයතනයේ විශිෂ්ඨ කළමනාකරණ උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා ලබාගත් ධනාත්මක ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙස 2024 වර්ෂය අති විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී. ආයතනය රුපියල් බිලියන 26.3ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කළ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 25% ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 5.3 ක් ලෙස වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 48% ක වර්ධනයකි. මෙය ආයතනයේ ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම නව ව්‍යාපාර ආදායම වේ.