ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය සැකකරු ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (01දා) නියෝග කළාය.
එම සැකකරු 2021 වසරේ සිට පෙර පදිංචිව සිටි ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් පදිංචිව සිටියදී ලැබුණු බුද්ධි තොරතුරු අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් අත්අඩංගුවට ගත් බවත් විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරුට ඇප ලබාදුනහොත් ඉදිරි විමර්ශනවලට දැඩි බාධාවක් සේම පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ලවිය හැකි බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි මහතා හා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
එම සැකකරුට වෛi ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ විනිසුරුවරිය විමර්ශන කඩිනමින් අවසන් කොට විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසටද අල්ලස් කොමිෂන් සභාවට නියෝග කළාය.
2014.01.22 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ යු.එල්. 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 4512ක පාඩු සිදුකිරීම. 2014.01.26 වැනිදා මාලදිවයිනේ සිට ප්‍රංශය බලා පිටත්ව යෑමට සිටි මගීන් 75 දෙනකු යු.එල්. 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 19,160ක් පාඩු කිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධන කිරීම සඳහා 2014.12.19 වැනිදා කටුනායක පැවැති උත්සවයක් වෙනුවෙන් රුපියල් 12,50,000ක් වියදම් කිරීම සම්බන්ධයෙන් එකී විමර්ශන ආරම්භ කළ බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් සාක්‍ෂි කැඳවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව පෙර කී චෝදනාවලට එරෙහිව එම සැකකරුට සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසට නිර්දේශ කොට තිබූ බවත් එකී නිර්දේශ සම්බන්ධයෙන් 2017 වසරේදී වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබූ බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (01දා) අධිකරණයට පෙන්වා දුන්නේය.
ගරු මැතිනියනි, පෙර සඳහන් කළ සියලු දේවල් සිදුවී තිබෙන්නේ එම සැකකරුගේ පෞද්ගලික ඕන එපාකම් අනුවයි. ඒ බව ගුවන්තොටුපළ මෙහෙයුම් නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යනවා. ඒ විතරක් නෙමෙයි එම සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රාජකාරි කළ එක්තරා ගුවන් සේවිකාවට අනෙකුත් ගුවන් සේවිකාවන්ට නොලැබුණ විශේෂ රාජකාරි කටයුතු පවරලා තිබෙනවා. ඒ කියන්නේ ඇයට වැඩිපුර ආදායමක් ලැබෙන පරිදි විශේෂ රාජකාරි සඳහා යොදවන ලෙස පාලනාධිකාරියට නියෝග කර තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාව ඔහුට එරෙහිව ලබාදුන් නිර්දේශ ගැන විතරක් නෙමෙයි ඊට පරිබාහිර කරුණු රැසක් ගැන විමර්ශන සිදුකරලයි ඔහුව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගත්තේ. මේ අවස්ථාවේදී ඔහු ඇපමත මුදා හැරියොත් විමර්ශන මගහැර යන්න පුළුවන්. ඔහු ගැන සිදුකරන විමර්ශන සඳහා ප්‍රකාශ දෙන්න පවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් බියවුණා. ඔහුව අපි අත්අඩංගුවට ගෙන අධිකරණයේ නියමයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළාට පසුව තමයි සමහර නිලධාරීන් ප්‍රකාශ ලබාදෙන්න පවා ඉදිරිපත් වුණේ යැයි විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂකවරයා හා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට පැවසූහ.
සිය සේවාදායකයා විමර්ශනවලට කිසිදු බාධාවක් සිදුකර හෝ මගහැර ගොස් නොමැති බවත් වයස අවුරුදු 80ක පුද්ගලයකු වන ඔහුගේ රෝගී තත්ත්වය හෝ සලකා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව මහතා ඉල්ලා සිටියේය.
ගරු මැතිනියනි, ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිය අතහැර නාවල ප්‍රදේශයට පදිංචියට ආවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසයි. නාවල තමා ඔහුගේ පුතා පදිංචිව සිටින්නෙත්. 2017 විමර්ශනය කළා කීවාට ප්‍රකාශ ලබාදෙන්න එන්න කියලා ඔහුට එකම දුරකථන ඇමතුමක්වත් දීලා නෑ. ජනාධිපති කොමිෂන් සභාව පෙර කිව්ව චෝදනාවලට නඩු පවරන්න කීවානම් මෙහෙම අත්අඩංගුවට ගෙන උසාවි ගෙනත් රිමාන්ඩ් කරන්න ඕන නෑ. මහාධිකරණය හමුවේ කෙළින්ම චෝදනා ගොනු කර නඩු පවරන්න පුළුවන්. පදිංචිය මාරු කරනවා නම් අල්ලස් කොමිසමට දැනුම් දෙන්න කියලා ඔහුට දන්වා තිබුණේ නෑ. නීතිඥ සජිත් ජයවර්ධන, නිර්මාල් කොඩිතුවක්කු, අමිල පීරිස්, ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල රැකව මහතා එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක