දඬුවම් නියම කිරීම 24දා
හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ (01දා) අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට කොන්දේසි විරහිතව වරද පිළිගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව අයැද සිටියේය.
විද්‍යුත් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම මගින් අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කොට තිබිණි. අධිකරණය කළ නියෝගය අනුව පෙනී සිටි හර්ෂ ඉලුක්පිටිය මහතාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්වීමට පියවර ගත්තේය. එම නඩුව ඊයේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
පුරා මාස ගණනාවක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රජයේ වගකිවයුතු තනතුරක් දැරූ සිය සේවාදායකයා ඔහු අතින් නොදැනුවත්ව සිදුවූ වරදට මේ වනවිටත් දඬුවම් විඳ ඇති බැවින් නැවත සමාජගත විය හැකි වන අවම දඬුවම් නියම කරන ලෙස ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. චුදිත හර්ෂ ඉලුක්පිටිය මහතාට දඬුවම් නියම කිරීම ලබන 24 වැනිදා දක්වා කල්තැබූ විනිසුරු මඬුල්ල එදිනට ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක