ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී අනීතික ලෙස ආනයනය කරන ලද ටොයොටා වර්ගයේ අතිසුඛෝපභෝගී ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම හා එකී අංක තහඩුව අනීතිකව පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝග කළාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ සටහන් කොට අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී කැඳවිණි. හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, තොරතුරු තාක්‍ෂණ අංශයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ (විශ්‍රාමික) බ්‍රාහ්මන වාසල ප්‍රියන්ත බණ්ඩා ඊරියගම හා ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන තිදෙනා එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොකර අනීතික ලෙස පසුගිය වසර කීපය තුළ ආනයනය කළ රුපියල් කෝටි සිය ගණනක් වටිනා අති සුඛෝපභෝගී වාහන 178කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශනය කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් එකී වාහන අනීතික ලෙස ලියාපදිංචි කිරීමට සහය දුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් හා වාහන භාවිත කළ පුද්ගලයන් මෙන්ම වාහන රැසක් ද අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක