වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත අද (ජුලි 01) සිට සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 6500ක පමණ මුළු ණය මුදලක් බැංකු හරහා නිදහස් කිරීමට නියමිතය. මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටි්‍රක් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වේ.
අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට සියයට 7 ක වාර්ෂික පොළී අනුපාතයකට රු. මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගිත්ව මූල්‍ය ආයතන ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව සහ පෑන් එෂියා බැංකුව යන බැංකු තෝරාගෙන ඇත.
ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත