හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ හතර වැනි වසර සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ මුදලින් රුපියල් දාහත් ලක්ෂ හතළිස් ලක්ෂයක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදී ඊයේ (30දා) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.
එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළේය. විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කිරීමට ද විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කෙරිණි.
සිය සේවාදායකයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් හා අධිචෝදනා විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් හා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු කියා සිටියහ. අධිකරණය නිකුත් කළ සිතාසි නියෝග අනුව එම විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2014.10.01 සහ 2014.12.12 කාලය අතරතුරදී ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයට පාඩුවක් සිදුවන බව දනිමින්ම එලෙස දැන්වීම් පළ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ මුදල් භාවිත කිරීම මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ දූෂණය නමැති වරද සිදු කළැයි විත්තිකරුවන්ට චෝදනා නඟා තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සුසිල් ප්‍රේම් ජයන්ත්, නාමල් රාජපක්ෂ, හේමන්ත වික්‍රමසිංහ, එමාල් ගුණසේකර, අචින්ත ද සිල්වා, ඊ. එස්. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න හා ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් යන මහත්වරු පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක