ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නි. කථානායක මැති සබයට දැනුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) නමැති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධනය කරන්නේ නම් පටහැනි භාවයන් මගහැරී යන බවත් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඊයේ (30දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත්, මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. එකී තීන්දුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පහත පරිදි සාරාංශගත කර ඇත.
8(2) වගන්තියේ සඳහන් ‘කමිටුවේ සාමාජිකයන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ පත්විය යුතු බවය’ සංශෝධනය කළ යුතුය. 13(1)(ඇ) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.
13(1) (අ) වගන්තියේ විවිධාංගීකරණයේ දෙවන අදියරේ සේවකයන් මාරු කිරීම සහ සේවකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවන බැවින් අපැහැදිලි සහ අත්තනෝමතික වේ. එබැවින් මෙම වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමග කිවයුතු 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය සටහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.
13(2) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වේ. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය සටහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන