කොළඹ පෝට් සිටි මුහුදේ ගවේෂණයකට කිමිදුණු
මෙවන් විපතක් කිසිම දරුවකුට නොවේවා
මවගේ නෙතඟින් ගැලෙන කඳුළු
“අනේ මගේ රත්තරන් පුතාට වෙච්ච දෙයක්. ඔයා නැතිව අපි කොහොමද ඉන්නෙ සුදු බබා… මගේ දරුවට වුණා වගේ මේ වගේ විපතක් තවත් දරුවකුට නම් වෙන්න එපා දෙයියනේ…” යැයි කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීර (පෝට් සිටි) ආසන්න මුහුදේ ගිලී මරුමුවට පත්වූ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යා පීඨ සිසුවාගේ මව පෙරේදා (28දා) විලාප දෙමින් පැවසුවාය.
ගම්පහ, අස්ගිරිය, බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවසට යන විටත් එම සිසුවාගේ සීල් තබන ලද පෙට්ටිය නිවසට රැගෙනවිත් තිබිණි.
මෙලෙස අවාසනාවන්ත අන්දමින්මි යගොස් තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ජනිඳු චමෝද් නමැති 24 හැවිරිදි සිසුවෙකි. ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ එදා සිටි අති දක්ෂ සිසුවකු ද විය. ජනිඳුගේ මේ මරණය නිසා මුළු ගම්පහ ප්‍රදේශයම එකම මළගමක් බවට පත්වී තිබිණි.
අපොස උසස් පෙළ පළමු වතාවෙන්ම සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට ඔහු තේරුණ ද ඔහුගේ දැඩි කැමැත්ත වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වීමටය. ඒ අනුව ඔහු කොළඹ විද්‍යා පීඨයට ඇතුළත් වී ඉගෙනුම ලබමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපෑහ.
ජනිඳු චමෝද් සිසුවාගේ මරණය සැලවීමෙන් කම්පනයට පත් ප්‍රදේශවාසී ජනතාව, ඔහුගේ සරසවි මිතුරන් ඔහුගේ නිවසට වැල නොකැඩී එන ආකාරය දැකගත හැකි විය.
දරුවන් දෙදෙනකු සිටින පවුලේ ජනිඳු වැඩිමහල් දරුවා විය. තම එකම සහෝදරිය ද පසුගිය වසරේ (2024) අපොස උසස් පෙළ විභාගයට මුහුණ දී සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින්නීය. ජනිඳුගේ මව රජයේ විධායක නිලධාරිනියකි. පියා රජයේ ආරක්ෂක අංශයක විශ්‍රාමික නිලධාරියෙකි.
ජනිඳුගේ වියෝවෙන් ඔහුගේ මව විලාප තබමින් හඬන ආකාරය දැක අවමඟුල් නිවසට පැමිණ සිටින කාගේත් හදවත උණු වී ගියේය. පුරා වසර 24ක් ලේ කිරි කර පොවා හැදූ මෑණියන්ට තම පුතාගේ මුහුණ බලන්නටවත් නොහැකි ලෙස පෙට්ටිය මුද්‍රා තබා තිබේ. ගම්පහ ප්‍රදේශය පුරාම ජනිඳුට ශෝකය පලකරමින් සුදු කොඩි හා ශෝක ප්‍රකාශයන් සහිත බැනරයන් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
ජනිඳු සිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මිතුරන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ මිතුරන් කීපදෙනකු සමග කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරයට පර්යේෂණ කටයුත්තක් සඳහා ජුනි 26 වැනිදා ගොස් තිබිණි. ඒ අනුව ඔවුන් ස්නෝකල් පැළඳ අදාළ පරීක්ෂණය සඳහා මුහුදු පතුල නිරීක්ෂණය කරමින් සිට ඇත. එහිදී ජනිඳු හදිසියේම අතුරුදන්ව තිබේ. පසුව ඔහුගේ මිතුරන් පොලිසිය ඇතුළු බලධාරීන්ට ඒ ගැන දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කළ මෙහෙයුමේදී ජනිඳුගේ ස්නෝකල් යුගලය පමණක් හමු වූ අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය.
පසුව කොළඹ වරාය පොලිසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් ඔහුගේ සිරුර සොයා මෙහෙයුම් සිදුකළ අතර ජනිඳුගේ සිරුර ජුනි 27 වැනිදා පෙරවරුවේ මුහුදු පතුලේ තිබී සොයාගන්නා ලදී.
මේ පිළිබඳව කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන සෙනුර රාජපක්ෂ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ජනිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (29 වැනිදා) මළහිරු බැස යන සන්ධ්‍යායාමයේ විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ අස්ගිරියේදී සිදුකෙරිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජයනන්ද පෙරේරා