4කගේ සිරුරු හමුවේ – 3ක් අතුරුදන්
මොරගල්ලේ වැඩිමහල් සොහොයුරාගේ සිරුරට නුදුරින්
බාල සොහොයුරාගේ සිරුරත් හමුවේ
අතුරුදන්වූවන් සොයා ගුවන්-නාවික හමුදා මෙහෙයුම්
තම ජීවිකාව සරිකර ගැනීම සඳහා ඊයේ (29දා) සහ පෙරේදා (28දා) ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබූ යාත්‍රා 04ක් අනතුරට ලක්වීමෙන් අයිය, මලෝ දෙදෙනකු ඇතුළු සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් ධීවරයින් තිදෙනෙකු ඊයේ සවස් වනවිටත් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මෙම අනතුරු තංගල්ල, ගාල්ල, බේරුවල හා හික්කඩුව යන මුහුදු ආශ්‍රිතව සිදුවී තිබේ. ධීවරයින් සිව්දෙනා මියගොස් තිබුණේ ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ‘දිනේෂ් 04’ බහුදින යාත්‍රාවේ දෙදෙනෙකු, කළුතර මොරගල්ල මුහුදු තීරයෙන් ධනුෂා මැරීන් නමැති බෝට්ටුවක මුහුදු ගිය අයිය, මලෝ දෙදෙනෙකි.

තංගල්ලෙන් මුහුදු ගිය මැක්සිම් පුතා 01 නමැති බහුදින යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් දෙදෙනකු සහ ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ ‘දිනේෂ් 04’ බහුදින යාත්‍රාවේ ධීවරයෙකු අතුරුදන් වී ඇත.
තංගල්ල පරෙවිවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවේ ධීවරයන් 06 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් ධීවර කටයුතු සිදුකර නැවත පැමිණෙමින් සිටියදී ගල්පරයක යාත්‍රාව ගැටීමෙන් අනතුරට ලක්වී ඇත. අනතුරින් දෙදෙනකු අතුරුදන්වී ඇති අතර බේරාගත් සිව්දෙනා තංගල්ල මහා රෝහලට ඇතුළත් කර සිටිති. ගාල්ල ධීවර වරාය අසලදී අනතුරට පත් යාත්‍රාවේ 05 දෙනකු ගමන් කර ඇති අතර අනතුරෙන් දෙදෙනකු බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එහි ගමන් කළ අනෙක් දෙදෙනෙකුගේ මෘතදේහ නාවික හමුදාව මගින් ගොඩට ගෙනවිත් ඇත. අතුරුදන් ධීවරයා සොයා නාවික හමුදාව සහ සෙසු ධීවරයන් එක්ව කටයුතු කරමින් සිටිති. තංගල්ල ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනා සොයා නාවික හමුදාව සමග ගුවන් හමුදාවේ KA 350 බීච්ක්‍රාප්ට් යාත්‍රාවක් ද ඊයේ යොදවා තිබුණි.
කළුතර මොරගොල්ල මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා ගොස් බෝට්ටුව පෙරළීමෙන් මියගිය අයිය, මලෝ දෙදෙනාගේ ඥාති කාන්තාවක හැඬූ කඳුළින් කියාසිටියේ ධීවරයන් දෙදෙනා බේරා ගැනීමට ආරක්ෂක අංශ සතුව එම අවස්ථාවේ බෝට්ටුවක් තිබී නැති බවත් එම ස්ථානයේ සිටි තරුණයකුට බෝට්ටුවක් ලබාදුන්නා නම් ධීවරයන් දෙදෙනාගේ ජීවිත ගලවා ගැනීමට උත්සාහ කළ හැකිව තිබූ බවත්ය.
අනතුර වාර්තාවීමත් සමග ආරක්ෂක ලේකම් එයාර් වයිෂ් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා (විශ්‍රාමික) ධිවරයන් මුදාගැනීම සඳහා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට උපදෙස් දී තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිද්ධිය වූ ස්ථානයට FAC (P491) යාත්‍රාවක් යෙදවිය. මේ වනවිට එක් ධීවරයෙකු බේරාගෙන ඇති අතර, ඔහු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකොට තිබේ. තවද, නාවික හමුදා විශේෂ කිමිදුම් කණ්ඩායමක් සමගින් FAC P420 යාත්‍රාව ද මෙහෙයුම් සඳහා යොදවා තිබුණි.
එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට Y-12 ගුවන්යානයක් භාවිත කරමින් අතුරුදන් වූ ධීවරයන් සොයා ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටියේය. ඔවුන්ට කඩිනමින් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ද කොග්ගල ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.
කළුතර මොරගල්ල මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාව පෙරළී එහි ගමන් ගත් අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද්‍ර නදුන් කුමාර (47) දුමින්ද ජගත් කුමාර (43) නමැති අයිය මලෝ දෙදෙනා මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය කියයි.
මියගොස් ඇති දෙදෙනා ධනුෂා මැරීන් නමැති කුඩා ධීවර බෝට්ටුවෙන් පසුගිය 27දා රාත්‍රී ගොස් ගැඹුරු මුහුදේ දැල් එලා නැවත පැමිණ ඇති අතර, නැවත පෙරේදා (28දා) අලුයම මුහුදු ගොස් සිටියදී බෝට්ටුව පෙරළී ඇති බව කියයි.
අතුරුදන් පුද්ගලයන් අවට පිරිස් විසින් බෝට්ටු යොදාගනිමින් ඊයේ සොයමින් සිටි අතර, අනතුරට පත් බෝට්ටුව වෙරළට ගොඩගසා තිබිණි.
ඊයේ (29දා) උදෑසන වැඩිමහල් සොහොයුරා ගේ මෘතදේහය ගොඩගසා තිබූ බවත් ඊට නුදුරින් පාවෙමින් තිබූ බාල සොහොයුරාගේ මෘතදේහය ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ධීවරයන් විසින් ගොඩගෙන ඇති බවත් පැවසේ.
මෘතදේහයන් බලපිටිය මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණි.
ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 09ක් පමණ ගැඹුරු මුහුදු තිරයේදී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයන් සොයා නාවික හමුදා විශේෂ කණ්ඩායමක් විසින් එම මුහුදු ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය. අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයෙකු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටි ඇත. පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් යාත්‍රාව තුළට සම්පීඩනය කරන ලද සාමාන්‍ය වාතය සහිත වායු සිලින්ඩර් ආධාරයෙන් ධීවරයා වෙත ඔක්සිජන් ලබාදෙමින් ඊට සමගාමීව යාත්‍රාව මුහුදේ ගිලීම වළක්වාලීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද යොදමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර මහත් පරිශ්‍රමයක් දරා යාත්‍රාවේ සිර වී සිටි එම ධීවරයා බේරා ගනු ලැබීය. එම ධීවර කාර්මිකයාද පෙරේදා (28දා) පස්වරුවේ දී ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඒ.ඩබ්ලිව්.පී.ඒ. සමන්ත, (46) සහ සරත් විමල ශාන්ත (58) නමැති දෙවිනුවර හා වැලිගම ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයන් දෙදෙනෙකි. අතුරුදන් වී ඇති අනෙක් ධීවර කාර්මිකයා සොයා නාවික හමුදා කිමිදුම් හා ගලවා ගැනීමේ කණ්ඩායමක් තවදුරටත් අඛණ්ඩව එම මුහුදු ප්‍රදේශයේ සෙවීම හා මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටියි.
තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “මැක්සීම් පුතා 01” නමැති බහුදින යාත්‍රාව ගල්පරයක හැපීමෙන් අනතුරුදන්ව ඇත්තේ හම්බන්තොට පල්ලේමලල පදිංචිව සිටි ජයසේකර ආරච්චිගේ චමිල් මධුමන්ත නමැති තිස්නව හැවිරිදි අයකු සහ තංගල්ල දන්කැටිය මගබෝ මාවතේ පදිංචිව සිටි සවුන්දා හැන්නදිගේ රුවන් ජානක නමැති හතළිස් නව හැවිරිදි අයෙකි.
අනතුරට ලක්වූ මැක්සීම් පුතා 01 නමැති බහුදින යාත්‍රාව පසුගිය 28දා මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇත. අනතුරට පත් යාත්‍රාවේ හිමිකරු වන තංගල්ල ගොයම්බොකේකේ පදිංචි ආර්.පී. පැතුම් නිලංග නමැති අය විසින් ඊයේ (29දා) තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ මෙම අනතුර සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව පොලිසිය තංගල්ල රුහුණු නාවික හමුදා කඳවුරේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මේ සම්බන්ධයෙන් බෝට්ටු හිමියාගෙන් ද පොලිසිය කටඋත්තරයක් ලබාගෙන තිබේ.
මේ අතර හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ද පෙරේදා (28දා) පස්වරුවේ වරාය ආසන්නයේදී අනතුරට පත්ව ඇති අතර එහි සිටි ධීවරයින් 06 දෙනා දිවි බේරා ගැනීමට සමත් වී ඇත.
චමින්ද සිල්වා – වාද්දුව – සුමිත් පොතුපිටිය, ගාල්ල – ලලිත් චාමින්ද, දෙබරවැව – ඒ.ඒ. පේමසිරි