කාල වර්ණ තරමක් කෙට්ටු එහෙත් ජාවාධිකව සිය පාපැදිය හසුරුවන පාපැදිකරුවෙකුගේ දසුන 80-90 දශකයන්හි කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා මගීන්ට හොඳට හුරුපුරුදු දසුනක් වුණා.
ඉදිරියට ඇදෙන වාහන පෙළ මැදින් සීරුවෙන් තම පාපැදිය හසුරවමින් එහෙත් ජවාධිකව ගමන් ගන්නා මෙම තරුණයා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිකල් ධාවකයෙකු වු අහංගම මෙරෙන්චිගේ සුමනවීර බව ඔහුව දසුනට හසුකර ගන්නා බොහෝ දෙනෙකු ඒ වන විටත් නොදන්නවා වෙන්නට ඇති.
ඔහු පදිංචිව සිටි නිවිතිගල “දෑල” සිට රත්නපුර ඔස්සේ ඔහු සේවය කළ කොළඹ කොල්ලුපිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත උදේ හවහා පාපැදියෙන් පැමිණි සුමනවීර ශ්‍රී ලංකාවේ පාපැදි ක්ෂේත්‍රය දිග්විජය කළ සෙන්පතියකු ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි.
මා පාපැදි ක්‍රීඩාවට පෙම්බැඳි 80-90 දශකයන් තුළ ඔහු මගේ ලෝකයේ සැබෑම වීරයෙක් වුණා. 1987 ලංකා පොහොර සමාගම විසින් සංවිධානය කරන ලද “ලක් පොහොර”සයිකල් සවාරියේ දඹුල්ල – රත්නපුර අදියරේදී මාතලේ “බලකඩුව” කඳු තරණය අවස්ථාවේ හීයක වේගයෙන් ප්‍රධාන පොකුරෙන් මිදුනු “සුමනේ” තනිව සිය පාපැදිය හසුරවමින් ගිරි දූර්ග කඳු හෙල් තරණය කරමින් මහනුවර කෑගල්ල, අවිස්සාවේල්ල ඔස්සේ රත්නපුරයට සෙසු තරගකරුවන්ට වඩා විනාඩි අටක් ඉදිරියෙන් පැමිණි ප්‍රවේගාත්මක ගමන සියැසින් දැක ගැනීමේ ජීවමාන සාක්ෂිකරුවකු වීමේ අවස්ථාව මට එදා හිමිවුණා.
මා කලවාන පොලිස් ස්ථානාධිපති හැටියට සේවය කරන දවස්වල දෛනික පුහුණුවීම්වල යෙදෙන “සුමනේ” දෑල නිවිතිගල, කලවාන, ඔස්සේ කොළඹ නැත්නම් කළුතර යමින් ගමන් බොහෝ අවස්ථාවල මගේ කාර්යාලයට ගොඩ වැදීම පුරුද්දක් ලෙස සිදු කළා.
ඇත්තටම “ශ්‍රී ලංකාවේ සයිකල් ක්‍රීඩාවේ රජු “ සුමනවීර හැටියට හැඳින්වීමට මා කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ.
1985,1986,1987, වර්ෂයන් තුළ අඛණ්ඩව ලංකා සවාරියේ ජයග්‍රහණය කරමින් පාපැදි ක්‍ෂේත්‍රය තුළ ඔහු තබා ඇති වාර්තාව සමවන්නේ “බොනිපස් පෙරේරා” සහ “මොරිස් කුමාරවේල්” විසින් පිහිටා ඇති වාර්තාවලට පමණයි.
ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍ෂේත්‍රයේ ඔහු හැඳින්වූයේ කඳු තරණයේ ශූරයා “කඳුකර ව්‍යාඝ්‍රයා” හැටියටයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග රාශියකට සහභාගි වී ඇති සුමනවීර ඒ සෑම අවස්ථාවකදීම මව්බිමට ගෙන එනු ලැබූ කීර්තිය අපමණයි.
ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව දික්විජය කළ සොඳුරු සෙන්පතියාණෙනි ඔබට සුබ ගමන්!
ප්‍රියන්ත ජයකොඩි
විශ්‍රාමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති