රිය සහායක විශාල අනතුරක් වළකා ගනී
අධ්‍යාපන චාරිකාවක යෙදෙමින් සිටි පාසල් දරුවන් රැගත් බස් රථයක් ඊයේ (27දා) උදේ 8.00 ට පමණ කන්තලේ නගරයේදී අනතුරකට ලක් වීමෙන් බස් රථයේ රියදුරු මිය ගොස් ඇති බව කන්තලේ පොලිසිය සඳහන් කර සිටී.
මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල බමුණුගල පදිංචි ඩබ්. ඒ. ආනන්ද නමැති 62 හැවිරිදි අයෙකි. කුරුණෑගල ප්‍රදේශයේ සිට පුල්මුඩේ බලා බාලිකා සිසුන් 31 දෙනකු නංවාගෙන පැමිණ ඇති මෙම බස් රථය කන්තලේ නගරයේ ඔරලෝසු කණුව හන්දිය පසුකරමින් සිටියදී රියදුරුට හදිසි රෝගී තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහු අසුනෙන් ඇදවැටීමට යන බව දුටු රථයේ සහායක මොහොමඩ් රිස්වාන් මහතා වහා ක්‍රියාත්මක වී රථය මාර්ගයෙන් ඉවතට කපාගෙන ඇත. එම අවස්ථාවේ මාර්ගය අයිනේ ඇති විදුලි කණුවක බසය ගැටී නතර වී ඇත. විදුලි රැහැන් සියල්ල ගැලවී බිම වැටී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදි දෙකකට ද හානි සිදුව තිබුණ ද සිදු වන්නට ගිය විශාල අනතුරක් එයින් වළකාගත හැකිවීම ගැන අනතුර දුටු සියල්ලෝ දෙවියන් සිහිකරති.
කෙසේ වෙතත් ඒ අසල නවතා තිබුණු ත්‍රිරෝදයකින් රෝගියා රැගෙන ගොස් රෝහල් ගත කළ ද සුළු මොහොතකින් ඔහු මිය ගොස් ඇති අතර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවට සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ