උප සභාපති සජබයෙන්
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27 දා) දින පස්වරු 2:30ට මස්කෙළියේ පිහිටි මස්කෙළිය අප්කට් පාර අචිනිකා උත්සව ශාලාවේදී පැවැත්විණි.
එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග කළ කන්දයියා රාජ් කුමාර් මහතා විවෘත ඡන්ද 09 කින් තේරී පත් වුණි. සමගි ජන බලවේගයේ සභාපතිවරයා සඳහා යෝජනා කෙරුණු ආසිර්වාදම් එලිස්ටන් මහතා විවෘත ඡන්ද 08 ක් ලබා ගත්තේය.
සභාපතිවරයා තේරීමේ ජන්ද ක්‍රමය තෝරා ගැනීම සම්බන්ධයෙන් එම සභාවට තේරී පත් වී සිටින ජාතික ජන බලවේගයේ සභිකයින් කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ තම සභාපති අපේක්ෂකයාට මරණීය තර්ජනය එල්ල වී ඇති බවත්, ඒ අනුව ඡන්දය රහස්ව පවත්වන ලෙසත්ය.
මෙයට විරුද්ධ වූ සමගි ජන බලවේගයේ සභිකයින් සභාව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් කියා සිටියේ සභාපතිවරයා තේරීම විවෘත ඡන්දයකින් පවත්වන ලෙසය.
දෙපාර්ශ්වය අතර ඇති වූ උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගත් මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මිය කීවේ ඡන්ද පැවැත්විය යුතු ආකාරය ගැන විමසීම රහස් ආකාරයෙන් කටයුතු කරන බවයි.
පසුව මතය විමසීම රහස් ඡන්දයකින් සිදුකෙරිණි. එහිදී විවෘත ඡන්දය පවත්වන ලෙස ඡන්ද 10ක් සහ රහස් ඡන්දය පවත්වන ලෙස ඡන්ද 07ක් ලැබී තිබුණි.
මේ අනුව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීම විවෘත ඡන්දයකින් පැවැත්විණ.
එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ පරමසිවම් රාජ්කුමාර් මහතා ඒකමතිකව තේරී පත් විය.
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 17කි. ජාතික ජන බලවේගයට 07ක්, සමගි ජන බලවේගයට 06ක්, ස්වාධීන 01 කණ්ඩායමට 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට 02ක් ලෙස එම මන්ත්‍රී ධුර බෙදී තිබේ.
නුවරඑළිය නාලක රත්නායක