ඉලක්කයට ළඟාවීමට පෙර ප්‍රතිප්‍රහාරක මිසයිල යොදාගෙන සාර්ථකව විනාශ කරයි
අපට ගැහුවොත් පිළිතුරු නොදී ඉන්නේ නෑ:
ඇමරිකාවට හොඳ පණිවිඩයක් දුන්නා – ඉරානය කියයි
ට්‍රම්ප්ගේ සටන් විරාමය පැය දෙකහමාරෙන් සුන්
අපිට ගැහුව නිසා – අපි ගැහුවා – ඉරානය
ඉරානය සටන් විරාමය කඩකළා එනිසා අපිත් ගැහුවා – ඊශ්‍රායලය
සටන් විරාමය මැදින් යුද ගිනි දැල් නිවේවා…!
ඊශ්‍රායල – ඉරාන යුද්ධය මධ්‍යයේ ඉරාන හමුදා විසින් පෙරේදා (23දා) සවස කටාර් රාජ්‍යයේ පිහිටි ‘අල් උඩෙයිඩ්’ ඇමරිකානු ගුවන් හමුදා කඳවුර වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. එම ප්‍රහාරය සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් සාර්ථකව වැළැක්වූ බව කටාර් රජය පවසා තිබේ. ඉරාන හමුදා ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට යොමු කළ මිසයිල සිය ඉලක්කය වෙත ළඟා වීමට පෙර කටාර් රාජ්‍යය විසින් ප්‍රතිප්‍රහාරක මිසයිල යොදාගෙන විනාශ කර තිබේ. ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් ‘අල් උඩෙයිඩ්’ ගුවන් හමුදා කඳවුරට හෝ එහි සිටි කිසිවකුට හානි සිදුව නොමැති බව කටාර් හා ඇමරිකානු බලධාරීන් විසින් නිවේදනය කර ඇත.
ඉරානය කටාර් රාජ්‍යයට මිසයිල ප්‍රහාරය එල්ල කිරීමට පෙර කටාරයේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එරට සිටින ඇමරිකානු පුරවැසියන් වෙත අතිශයින් ප්‍රවේශම්කාරී ලෙස අනතුරු අඟවමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස දැනුම් දී තිබූ අතර ඉරාන මිසයිල ප්‍රහාරය වැළැක්වීමෙන් පසු එම අනතුරු ඇඟවීම ඉවත් කරගෙන තිබිණි. ඉරාන මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමගම වසා දමා තිබූ කටාර් රාජ්‍යයේ ගුවන් කලාපය ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු නැවත විවෘත කර තිබිණි. ඉරානය විසින් කටාරයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුර වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් දින දෙකකට පසුව වන අතර ඇමරිකානු ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් කිහිප වරක්ම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
මේ අතර කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉරානය පවසා ඇත්තේ සිය රටේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජාතික ආරක්ෂාවට එරෙහිව එල්ල කරන කිසිදු ප්‍රහාරයකට පිළිතුරු නොදී නොසිටින බවත් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කඳවුරට ප්‍රහාර එල්ල කිරීමෙන් ඇමරිකාවට ඒ සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් යවා ඇති බවත්ය.
ඉරාන මිසයිල ප්‍රහාරය සාර්ථකව මැඬ පැවැත්වූ බව පවසා ඇති කටාර් රාජ්‍යය එම ප්‍රහාරය තරයේ හෙළා දකිමින් එයට පිළිතුරු ලබා දෙන බව නිවේදනය කර තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඇමරිකාව හා කටාරය අතර ශක්තිමත් සබඳතාවක් පවතින අතර මැදපෙරදිග කලාපයේ ඇමරිකානු හමුදා භටයෝ 40,000ක් පමණ රඳවා සිටිති. මේ අතර ජනාධිපති ට්‍රම්ප් කටාර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරය ඉතාමත් දුර්වල ප්‍රතිප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති අතර ඇමරිකානුවන්ට සිය ප්‍රහාරය පිළිබඳව පුර්ව දැනුම් දීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉරාන නිලධාරීන්ට ස්තූතිය පළ කරන බව ද පවසා තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය ජාල සටහනක් තබමින් ට්‍රම්ප් ජනපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය හා ඉරානය අතර හටගත් යුද්ධය වසර ගණනාවක් දිග්ගැස්සෙන සමස්ත මැදපෙරදිග කලාපයම විනාශ කළ හැකි යුද්ධයක් වන නමුත් එය එසේ සිදු නොවන අතර ඒ අයුරින් යුද්ධය සිදු වීමට ඉඩ නොතබන බවයි. අල් උඩෙයිඩ් ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ඇමරිකා එක්සත් ජනපදයේ හා කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලය හා ඉරානය සටන් විරාමයක් ඇති කර ගැනීමට එකඟ වූ බවත් එය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළේය.
කෙසේ වුවද අදාළ සටන් විරාම ගිවිසුමට එකඟ වූ බව ඊශ්‍රායලය හා ඉරානය විසින් එකවර තහවුරු කර නොතිබිණි. එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් සටන් විරාමය සම්බන්ධයෙන් නිවේදනය කර පැයක පමණ කාලයක් ගත වූ පසු ඊශ්‍රායලය පවසා තිබුණේ සටන් විරාමයට එකඟ බවයි. එහෙත් ඉරානය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ ඊශ්‍රායලය පහර දීම නතර කරන්නේ නම් තමන් ද එයම සිදු කරන බවයි. මෙම සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් එය සර්ව සම්පූර්ණ වූ සටන් විරාමයක් බව ප්‍රකාශ කර තිබූ අතර ඊශ්‍රායලය හා ඉරානය අතර පැවති යුද්ධය දින 12ක යුද්ධයක් ලෙස හඳුන්වා දී තිබිණි.
කෙසේ වුවද මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය දෙකහමාරකට පමණ පසු ඊශ්‍රායල හමුදා විසින් උතුරුදිග ඊශ්‍රායලයට ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයක් ප්‍රතිප්‍රහාරක මිසයිල යොදාගෙන වැළැක්වූ බව නිවේදනය කර තිබූ අතර ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය. එහෙත් එයට ප්‍රතිචාර දක්වමින් ඉරානය එවැනි ප්‍රහාරයක් එල්ල කළ බවට සිදු කළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් ඊශ්‍රායලයේ ඒකාබද්ධ හමුදාවන් සිය මතයෙහි දිගටම සිටිමින් ඉරාන ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රතිචාර දක්වන බව සඳහන් කර තිබිණි.
මේ අතර සටන් විරාමය ඇරඹීමට පෙර පෙරේදා (23) රාත්‍රී කාලයේදී ඊශ්‍රායලය හා ඉරානය විසින් දිගින දිගටම එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇත. ඉරාන රජයේ රූපවාහිනී සේවයට අනුව ඊශ්‍රායල හමුදාවන් විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු නගර කිහිපයකටම එල්ල කළ මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් ඉරාන ජාතික න්‍යෂ්ටික විද්‍යාඥයකු ඇතුළු නවදෙනකු මියගොස් තිබේ. ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයේ බීර් ෂේබා නගරයට එල්ල කර ඇති මිසයිල ප්‍රහාරයෙන් 4 දෙනකු මියගොස් 22 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ඊශ්‍රායල් කට්ස් පවසා ඇත්තේ ඉරානය සටන් විරාමය ක්‍රියාත්මක කර පැය දෙකහමාරක් ගත වූ පසු එය උල්ලංඝනය කිරීම නිසා එයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් අගනුවර තිබෙන එරට රෙජිමයට අයත් ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හමුදා බලය යොදවන බවයි. එහෙත් ඉරානය විසින් තරයේ ප්‍රකාශ කර ඇත්තේ තමන් සටන් විරාමය උල්ලංඝනය නොකළ බවයි. ඉරානයට නැවත පහර දෙන බවට ඊශ්‍රායලය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු සපයා ඇති ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය ඉරානයට එරෙහිව නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් එයට එරෙහිව දැඩි පිළිතුරක් ලබා දෙන බව පවසා තිබේ.
ඒමන්ති මාරඹේ