ගම්පොළ, බෙන්තොට – මන්නාරම සජබයට
මහනුවර උඩපළාත පොහොට්ටුවට
කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිලවරණය ඊයේ (24දා) පැවැත්විණි.
ඒ අනුව ජාතික ජන බලවේගයට නගර සභා දෙකක හා ප්‍රාදේශීය සභාවක බලය හිමිවූ අතර සමගි ජන බලවේගයට එක් නගර සභාවක හා ප්‍රාදේශීය සභා දෙකක බලය හිමි විය.
පානදුර හා බලංගොඩ නගර සභා දෙක හා තණමල්විල ප්‍රාදේශීය සභාවේ බලය ජා.ජ.බ.යටත් ගම්පොළ නගර සභාවේ හා බෙන්තොට, මන්නාරම යන ප්‍රාදේශීය සභාවල බලය සජබයටත් හිමිවිය.
මේ අතර බණ්ඩාරගම හා පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවල ගණ පූර්ණය නොමැති වූ හෙයින් ඡන්ද විමසීම කල් දමා ඇත. මහනුවර උඩ පළාතේ බලය පොදුජන එක්සත් පෙරමුණට හිමි විය.
බලංගොඩ නගර සභාවේ ඊයේ සිදු කළ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පක්ෂයේ ජේ.ජී. පේමදාස මහතා වැඩි ඡන්දයෙන් සභාපති ලෙස පත්විය.
පේමදාස මහතා ඡන්ද 8ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ සජබ මන්ත්‍රී එම්. විමලසිරි මහතාට ඡන්ද 6ක් හිමි විය.
මෙහිදී උප සභාපති ලෙස දෙදෙනකු ඉදිරිපත්වූ අතර ඔවුන් දෙදෙනා ඡන්ද 8 බැගින් සමානව ලබාගත් නිසා සිදු කළ කුසපත් ඇදීමෙන් ජාතික ජන බලවේග මන්ත්‍රී පේසල තුෂාර ජයසේන මහතා තේරී පත් විය.
ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් විය. ඊයේ සිදුකළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේග අපේක්ෂක හිරුක වීරරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
තණමල්විල ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ තණමල්විල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන කොමසාරිස් (ඌව) ලලිත් හේමන්ත දිසානායක, සහකාර කොමසාරිස් (මොනරාගල) ඩබ්ලිව්.එම්. ප්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී ජාතික ජන බලවේගයේ චන්දන කුමාර මහතා ඡන්ද විස්සක් ලබා ගනිමින් වැඩි ඡන්ද අටකින් සභාපති ධුරයට පත් විය.
උප සභාපති ධුරයට ජාතික ජන බලවේගයේ ජේ.පී. කමල්සිරි මහතා ඡන්ද 16ක් ලබා ගනිමින් එක් වැඩි ඡන්දයකින් උප සභාපති ධුරයට පත් විය. තණමල්විල ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 16, සර්ව ජන බලයේ 09, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 04, පොදු ජන එක්සත් පෙරමුණේ 03, එක්සත් ජාතික පක්ෂයේ 02කින් සමන්විත වේ.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත් විය.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවැති මංගල සැසිවාරයේදී සජබ අපේක්ෂක ලසන්ත විජේවර්ධන මහතා වැඩි ඡන්දයෙන් සභාපති ධුරයට තේරී පත්විය.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවැති මංගල සැසිවාරයේදී සමගි ජන බලවේගය එහි බලය තහවුරු කරගත්තේය.
ඒ අනුව සිදු කළ ඡන්ද විමසීමේදී සජබ අපේක්ෂක අබ්දුල් ජබීර් මොහොමඩ් මහතා එහි සභාපති ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කරගෙන ඇත.
මහනුවර උඩපළාතේ බලය පොදුජන එක්සත් පෙරමුණට හිමිවිය. එහි සභාපතිවරයා එම පක්ෂයෙන් ද උප සභාපතිවරයා සමගි ජන බලවේගයෙන් ද පත්විය.
පානදුර නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි විය. එහිදී පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව සභාපති ධුරය එම පක්ෂයට හිමි විය.
මේ අතර පෙරේදා (23දා) රත්තොට ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමෙන් එහි බලය ජාතික ජන බලවේගයට හිමි විය.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක සමරකෝන් මහතා ඡන්ද 17ක් ලබා සභාපති ධුරයට පත් විය.
රනිල් ධර්මසේන, අරුණ බෝගහවත්ත, ගම්පොළ – සුරංග දිල්ශාන්, මග්ගොන – තිලක් විජේසුන්දර, නියාගම – විජේසිංහ, බලංගොඩ – කේ. එම්. පියසේන, බඩල්කුඹුර, රවිඳු ගුණතිලක, ඕපනායක – ජයලත් විමලසේන