තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය
බැංකොක් අගනුවර දී දැන් ක්‍රියාත්මක තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවන දිනය වූ ඊයේ (24) කැපී පෙනුණු වික්නරාජ් වොක්ෂන්, නිමාලී ලියනාරච්චි සහ රුසිරු චතුරංග ගාල්ලගේ රන් පදක්කම් දිනා ගත්හ.
පිරිමි මීටර් 5000 ඉසව්වේ දී
මිනිත්තු 15.04.56 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් වික්නරාජ් වොක්ෂන් ද කාන්තා මීටර් 800 ඉසව්වේ දී මිනිත්තු 02.10.46 ක තරග නිමි කාලයක් සටහන් කරමින් නිමාලී ලියනාරච්චි ද
පිරිමි මීටර් 800 ඉසව්වේ දී
මිනිත්තු 01.50.01 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් රුසිරු චතුරංග ගාල්ලගේ ද රන් පදක්කම් ගෙළ පැළඳ ගැනීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය.
මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙන් නොනැවතුණු යොවුන් ක්‍රීඩක වොක්ෂන් මෙවර තරගාවලියේ ලත් දෙවන ජයග්‍රහණය රන් පදක්කමක් කරා පිවිසීම විශේෂත්වයකි.
එමෙන්ම, මීටර් 1500 ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියූ රුසිරු චතුරංග ගාල්ලගේ ඊයේ (24) දිනයේ දී තවත් රන් පදක්කමක් මව්බිමට තිළිණ කළේ ආඩම්බර ලීලාවෙනි.
මේ අතර වාරයේ දී තවත් රිදී පදක්කමක් මෙරට වෙනුවෙන් දිනා ගැනීමට යොවුන් ක්‍රීඩක අයොමාල් අකලංක සමත් වූයේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 50.75 ක දක්ෂතාව සමගිනි.
එස්. අහමඩ් නජිබුඩීන් පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම තහවුරු කර ගැනීමට සමත් වීම ද කැපී පෙනුණි. ඔහුගේ දක්ෂතාව මීටර් 15.94 ක් ලෙස සටහන්ව තිබිණි.
මෙවර තරගාවලියේ සමාප්තිය අද (25) සවස බැංකොක් අගනුවර පැතුම්තානී පුරවරයේ පිහිටි ජාතික මලල ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර