ක්‍රීඩා ලෝලීන්ට තරගය නැරඹීම නොමිලේ
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වූ මිලාන් රත්නායකට දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.
ඒ පළමු ටෙස්ට් තරගය අතරතුරදී ආබාධයකට ලක්වීම නිසාවෙනි.
මිලාන් පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 39ක් හා පන්දු යැවීමේදී කඩුලු 3ක් ද දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක් ද දවාගනිමින් දස්කම් පෑවේය.
ඒ අනුව උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන්නේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමටය.
කෙසේවෙතත් ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින විශ්ව ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට ඇතුළත් වී නොතිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 27කට ක්‍රීඩා කර ඇති විශ්ව කඩුලු 79ක් බිඳ හෙළා තිබේ.
තවද කණ්ඩායමට අලුතින් එක්ව සිටින දුනිත් වෙල්ලාලගේ මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව 2022 වසරේදී එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබේ.
පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දිවියට සමුදීම නිසා කණ්ඩායමෙන් ඉවත්ව යන අතර ඒ වෙනුවට පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට කලින්ම එක් කර තිබුණි.
දෙවැනි ටෙස්ට් තරගය අද ආරම්භ වන අතර එය 29 වැනි ඉරිදා දක්වා පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට පැමිණීම සඳහා නොමිලේ අවස්ථාව ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ගේට්ටු අංක 03 සහ 04 හරහා තරගය නැරඹීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව තිබේ.
තරගය අද පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ඉසිත විජේසුන්දර, විශ්ව ප්‍රනාන්දු.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි