මැදපෙරදිග පවත්නා යුද්ධයට ඇමෙරිකාව අතදැමීමත් සමගම ඉතා සංකීර්ණ තත්ත්වයක් හටගෙන තිබේ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවල මරාගෙන මැරෙන මිනිසුන් ඇත. එහෙත් ආගම ජීවිතය හැම දෙයම බවට පත් කරගත් ඉරානය වැනි ඉස්ලාමීය රටවල මරාගෙන මැරෙන මිනිස්සු ඕනෑතරම් සිටිති. මරාගෙන මැරීම පවක් ලෙස අප සැලකුව ද ආගමික අන්තවාදීන් එය සලකනු ලබන්නේ පින්කමක් හැටියට ය. ඇමෙරිකාව පසුගියදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දී කුඩුකර දැමීය. මේවා සැබැවින්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන නම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය කාන්දුවීමෙන් ඉරානයේ ජනතාවටත්, ඉරානයේ පරිසරයටත් විශාල හානි සිදුවීමට ඉඩ තිබේ. ඉරානය තුළ න්‍යෂ්ටික බලාගාර නැති බව, ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති අධිකාරිය ප්‍රකාශ කර තිබේ. එහෙත් ඇමෙරිකාව තරයේම කියන්නේ ඉරානය තුළ න්‍යෂ්ටික බලාගාර ඇති බවයි. බැලූ බැල්මට ඊශ්‍රායලය සහ ඉරානය අතර තිබෙන යුද්ධය එකකි. ඇමෙරිකාව විසින් ඉරානයට පහර දෙනු ලැබීම තවත් එකකි. මේ සම්බන්ධයෙන් තවමත් එම ප්‍රතිප්‍රහාර ඇරඹී නැත. ඇමෙරිකාව න්‍යෂ්ටික බලවතෙකි. කවර හෝ අවස්ථාවක ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළොත් ඇමෙරිකාව ද එම ප්‍රහාරයට ගැළපෙන සේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා ඇත. යම් විදිහකින් ඉරානය න්‍යෂ්ටික රතිඤ්ඤාවක් පත්තුකළොත් ඇමෙරිකාව දරුණු න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනවා ඇත. තුන්වන ලෝක යුද්ධය පටන්ගන්නේ මෙතැනිනි. සමහර විට ලෝක විනාශය ද මෙතැනින්ම ඇරඹෙනවා ඇත.
ඇමෙරිකාව ඉරානයට පහර දුන්නේ ඊශ්‍රායලයට සහයෝග පිණිස ද නැතහොත් ඉරානය මැඬපැවැත්වීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ තිබූ අරමුණ සපුරා ගැනීමට ද යන්න හරියට පැහැදිලි නැත. සාමාන්‍යයෙන් ට්‍රම්ප් ප්‍රසිද්ධ වන්නේ යුද විරෝධියකු ලෙස ය. පළමු වැනි වතාවේ ඇමරිකන් ජනාධිපති වූ සැණින් ඇෆ්ගනිස්තානයේ සිටින සියලුම ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය. ඒ අනුව එම හිස්තැනට නැවත වරක් තලේබාන් සංවිධානය පැමිණි අතර අද ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් ආණ්ඩුවයි. ඉරානය යනු භයානක ආණ්ඩුවක් බවට මතයක් ඇමෙරිකාවේ තිබේ. එසේම සිරියාව ද යේමනය ද නපුරු රටවල් බව ඇමෙරිකානු මතය වේ. මේ රටවල් එකක්වත් ඇමෙරිකාවට අවනත නැත. ඇමෙරිකාව විසින් ඉරානයට පහර දුන් සැණින් රතු මුහුද හරහා ගමන් කරන ඇමෙරිකන් නැව්වලට පහර දෙන බව යේමනයේ හූති ගරිල්ලෝ ප්‍රකාශ කළහ. මෙය මෙසේම සිදුවනවා ද ඇත. මේ අතර ඇමෙරිකන් ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් කෝමුස් සමුද්‍රසන්ධිය වසා දමන බවට ඉරානය තර්ජනය කර තිබේ. මේ සමුද්‍රසන්ධිය ඉතා වැදගත් ය. ඉරානයෙන් සහ ඒ අවට පිහිටි ඉස්ලාමීය රටවලින් ලෝකයේ වෙනත් රටවලට තෙල් ප්‍රවාහනය කරනු ලබන්නේ කෝමුස් සමුද්‍රසන්ධිය හරහා යි. මේ සමුද්‍රසන්ධිය වැසුවොත් තෙල් බෙදාහැරීම සඳහා විශාල වටයක් යෑමට තෙල් නිපදවන රටවල්වලට සිදුවේ. එවිට කොහොමටත් මිල ඉහළ යෑමට නියමිත තෙල්, වඩාත් වැඩියෙන් මිල ඉහළ යනවා ඇත. සාමාන්‍යයෙන් මේ වනවිට ඩොලර් සියයට අඩුවෙන් තිබෙන අමුතෙල් මිල ඩොලර් එකසියපනහ වුණොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් පන්සියය ඉක්මවීම ස්ථිර වශයෙන්ම සිදුවෙයි. එසේ ඉහළ යන පෙට්‍රල් මිල ආණ්ඩුවල පාලනයෙන් තොර ය. පෙට්‍රල් මිල ඉහළ යෑමෙන් පසු සෙසු සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සහ විදුලිබලය යනාදියේ මිල ඉහළ යනවා ඇත. මේ නිසා මේ යුද්ධය නවත්වා ගැනීමට සියලු පාර්ශ්ව හැකි උපරිම උත්සාහය දැරිය යුතු වේ. න්‍යෂ්ටික බලය වර්ධනය කර ගැනීමට ඉරානයට අයිතියක් තිබෙන බව රුසියාව පවසා තිබේ. මේ ප්‍රශ්නයේ දී චීනය සහ රුසියාව සිටින්නේ ඇමෙරිකාවේ මතවාදයට විරුද්ධ මතයක ය.
මැදපෙරදිග දැනට පවත්නා යුද්ධය නිසා ලෝකය තුළ නැවත වතාවක් විශාල දේශපාලන බෙදීම් හටගැනීමට ඉඩ ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් සංගමය සහ ඇමෙරිකාවට පක්‍ෂපාත රටවල් අතර සීතල යුද්ධයක් ඇති විය. මෙයට නිරවි යුද්ධය යැයි කියනු ලැබේ. මේ නිරවි යුද්ධයේ දී සිදුවුණේ සෝවියට් කඳවුර සහ ඇමෙරිකන් කඳවුර වෙන් වෙන් වශයෙන් බලවත්වීමට කටයුතු කිරීම ය. මුලින්ම රුසියාව සහ ඇමෙරිකාව යන රටවල් දෙකම සඳ තරණය කිරීමට අභ්‍යවකාශ තරගයක නිරත වූහ. ඊළඟට පාර්ශ්ව දෙක යුද අවි වැඩි දියුණු කිරීමට පටන්ගත්හ. තුන්වෙනුව ඔවුහු තම තමන්ගේ දේශපාලන මත ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ තරගයක යෙදුණාහ. කෙසේ වුවද අභ්‍යවකාශ තරගයෙන් රුසියාව පරාද විය. ඒ එක්කම සෝවියට් සංගමය බිඳවැටුණේ ය. එතැන් සිට ලෝකයේ ලොකුම නායකයා වූයේ ඇමෙරිකාවයි. එහෙත් මේ වනවිට රුසියාව තමන්ට පක්‍ෂපාත රටවල් කිහිපයක් එකතු කරගෙන නැවත වතාවක් බලය තහවුරු කරගෙන තිබේ. මේ නිසා මීළඟ ලෝක යුද්ධයක දී ඇමෙරිකාවේ පැත්ත සහ රුසියාවේ පැත්ත ගන්නා රටවල් අතර විශාල තරගයක් ඇති වීමට ඉඩ තිබේ. මේ අතර තවත් විශාල බලවතකු වන චීනය ද පැත්තකට වී බලා සිටිනු ඇත. මෙහිදී චීනයේ ආධාරය ලබාගැනීමට හැකිවන පාර්ශ්වය සාර්ථකත්වයට පත්වනු ඇත. එහෙත් තුන්වන ලෝක යුද්ධය යනු කිසිදු කෙනකු ජය නොගන්නා, සියලුදෙනාම පරාජයට පත්වන යුද්ධයකි. මේ නිසා යුද්ධයකින් මෙහා තම ප්‍රශ්න විසඳා ගැනීමට සියලු ලෝක බලවතුන් තීරණය කළ යුතුය.