අද අපගේ කතුවැකිය ලියන්නේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිතුමාගේ හොර බෙහෙත් සිද්ධිය පිළිබඳ ඊයේ (ඊයේ) දිවයින පුවත්පතේ පළවූ ප්‍රවෘත්ති දැකීමෙන් නොවේ. කෙහෙළියගේ සිද්ධිය ගරු අධිකරණය ඉදිරියේ පවතින නඩුවකි. එම නඩුව සම්බන්ධයෙන් ඉතාම සාධාරණ විනිශ්චයක් ගරු අධිකරණය ලබාදෙන බව අපගේ වැටහීම ය. මේ රටේ අධිකරණය සහ විනිසුරුතුමන්ලා ඍජු ලෙස කටයුතු කිරීම අපට ලොකු සහනයකි. රට දූෂණයෙන් මුදාගැනීමේ දී නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියත් දූෂකයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියත් අත්‍යවශ්‍ය ය. එසේ වුවද කෙහෙළිය රඹුක්වැල්ල පිළිබඳ සිද්ධිය අධිකරණයට යන්නේ නිකන්ම නොවේ. එහෙත් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු කෙහෙළිය රඹුක්වැල්ල වැරදිකරුවකු වන්නේ නැත.
දකුණු ආසියාවේ තිබෙන හොර බෙහෙත් ගබඩාවලින් එකක් ලෙස ලංකාව හඳුනාගත හැකිය. මේ රට තුළ බටහිර ඖෂධ ද වෙනත් විකල්ප ඖෂධ බොහොමයක් ද තිබේ. ආයුර්වේදය, හෝමියෝපති වෙදකම, සිංහල වෙදකම, යුනානි වෙදකම, සිද්ධ වෙදකම සහ කටු චිකිත්සාව යනාදී වශයෙන් වෛද්‍ය ක්‍රම රාශියක් ද ඒ ඒ වෛද්‍ය ක්‍රමවලට නියාමනය සපයන වෛද්‍ය සභා රාශියක් ද මේ රටේ තිබේ. මේ සියල්ලටම අමතරව හූනියම්කාරයෝ ද, හොර කපුවෝ ද, මන්තරකාරයෝ ද වෙනම සීන් එකක් ගෙනයති. ඒ නිසා ඇතැම් රෝගයක් හැදුණු විට වෛද්‍යවරයකු වෙත යෑමට වඩා කපුවකු වෙත ගොස් ගාණක් විනාශ කර ගැනීමට මේ රටේ ජනයා තුළ කැමැත්තක් ඇත. ඉහත සඳහන් සෑම වෛද්‍ය ක්‍රමයක් තුළම සැබෑ වෛද්‍යවරු මෙන්ම හොරු ද සිටිති. හානිය වන්නේ වෛද්‍ය ක්‍රමය නිසා නොව හොරකම නිසා ය.
ලංකාවේ තිබෙන ප්‍රමුඛතම හොර බෙහෙත් බිස්නස් එක වන්නේ කල්ගිය බෙහෙත්වල දින වෙනස් කර විකිණීම ය. මෙවැනි හොර බෙහෙත් ගබඩා පිටින් වැටලීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. ඒ අතර ඇතැම් බෙහෙත් වර්ග වෙනුවට ඇල්වතුර කුප්පි ද විකුණන අවස්ථා තිබේ. දැනට විභාග වන නඩුවකදී ද මේ බව හෙළිවී ඇත. ලෝකයේ හැම රටකින්ම හොඳ ඔරිජිනල් බෙහෙත් මෙන්ම හොර බෙහෙත් ද ලබාගත හැකිය. ආසියාවේ ඇතැම් රටවල ගෙවල් පිටුපස ඇන්ටිබයටික් පෙති සාදනු ලැබේ. ඇන්ටිබයටික් නිෂ්පාදනය කරන සමාගම් හිස් කැප්සියුල් ද, ඇන්ටිබයටික් කුඩු ද ගෙවල්වලට බෙදාගෙන යයි. ගෙදර මිනිස්සු කන්හැඳිවලින් ඒවාට ඇන්ටිබයටික් පුරවා නිෂ්පාදකයාට දෙනු ලැබේ. මේවා කරන්නේ හොර බෙහෙත් සමාගම් ය. කැප්සියුල්වලට ඇන්ටිබයටික් පුරවන යන්ත්‍ර බෙහෙවින් මිල අධික ය. ඒ නිසා හොර බෙහෙත් නිෂ්පාදකයා එම යන්ත්‍රවලට මුදල් ආයෝජනය නොකර ඇන්ටිබයටික් ගෙවල්වලට බෙදාහරී. යම් විදිහකින් හොර බෙහෙත් සමාගම් රජය මගින් වටලනු ලැබුවහොත් විශාල මිලක් දරා ගෙන්වනු ලැබූ යන්ත්‍රසූත්‍ර ද රාජසන්තක වෙයි. එබැවින් හොර බෙහෙත්කාරයෝ ස්වකීය කර්මාන්තය සම්පූර්ණයෙන්ම ජංගම මට්ටමෙන් කරගෙන යති.
මෙවැනි ලාභ ඖෂධ ලංකාව පුරා තිබේ. ඒවායේ ඔරිජිනල් ඖෂධවල මිල ඉතා ඉහළය. නියම ප්‍රමිතියෙන් යුතු බෙහෙත් ලාබෙට අවශ්‍ය නම් ඒවා ලංකාවේ නිෂ්පාදනය කළ යුතුය. ඖෂධ සංස්ථාව පිහිටුවා එහි පළමුවැනි සභාපති බවට පත්වූ මහාචාර්ය සේනක බිබිලේ විසින් කරන්නට උත්සාහ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම ය. එහෙත් එය අදටත් හරියාකාරව සිදුවන්නේ නැත. තවමත් ඖෂධ වර්ග රාශියක්ම පිටරටින් ගෙන්වනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඇන්ටිබයටික් වර්ග තුන්හාරසීයක් වෙළෙඳපොළේ තිබේ. ඒවා ලංකාවේ නිෂ්පාදනය කළ හැකි වුවද එසේ නිෂ්පාදනය කිරීම පටන්ගත්තොත් කොමිස් කුට්ටි නවතී. ඒ නිසා බෙහෙත් කොම්පැනිකාරයන්ගේ අනුග්‍රහය මත ඇතැම් දොස්තරලාත්, දේශපාලනඥයෝත් බෙහෙත් පිටරටින් ගෙන්වීම ගැනම උනන්දු වෙති.
අපේ ජාතිය නිරෝගී ජාතියක් නොවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ අපට නිසි බෙහෙත් ප්‍රතිපත්තියක් නොතිබීම ය. ඇතැම් උගත් රෝගීන්ට මරණ මංචකයේ දී මහාචාර්ය සේනක බිබිලේ සිහිවනු ඇතැයි අපි විශ්වාස කරමු. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තම ජීවිතය කැප කළ සේනක බිබිලේ ඖෂධ නාම වෙනුවට වෙළෙඳ නාම භාවිතා කිරීමට ද විරෝධය දැක්වීය. එමෙන්ම අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබාදීම හා වෛද්‍යවරුන්ගේ මේ ඖෂධ නිර්දේශ කිරීම තුළ රෝගීන්ගේ ජීවිත රකිමින් සුවපත් කිරීම උදෙසා තම ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේය. ඊට මේ රටේ අඩිතාලම ද දැම්මේය. එහෙත් 1977 සැප්තැම්බර් 29 වැනිදා ඔහුගේ මරණය සිදු වූ අන්දම අදටත් අභිරහසක් බවට පත්ව ඇත්තේය… ඒ ගැන වෙනත් දවසක අපි කතා කරමු.