2025 ජුනි මස 22 වැනිදා ඉරිදා
අනීතික ලෙස වත්කම් රැස් කළේ යැයි කියන විසිඅට දෙනකුගේ නාමලේඛනයක් සති අන්තයේ දී නිකුත් විය. මෙය නොසලකා නොහැරිය යුතු තරම් විශාල ප්‍රවෘත්තියකි. නාමල් රාජපක්ෂගේ සිට පිල්ලෙයාන් දක්වා දේශපාලනඥයෝ රැසක් මෙයට සම්බන්ධ බව ආණ්ඩුව කියයි. එසේම හිටපු මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාගේ නම ලැයිස්තුවේ ඇතුළත් ය. ශවේන්ද්‍ර සිල්වා යනු දේශපාලනඥයකු නොව රණවිරුවෙකි. වංචාවේ සහ දූෂණයේ ග්‍රීස් සහ කළු තෙල් ඔහුගේ අතේ ගෑවී තිබුණේ නැත. එල්.ටී.ටී.ඊ. යට තෙල් වික්ක, තුවක්කු වික්ක සහ ඔත්තු වික්ක යුද හමුදා නිලධාරීහු ඕනෑ තරම් වර්ගවාදී යුද කාලයේ දී සිටියහ. සාමාන්‍යයෙන් මෙවැනි දූෂණ යුද්ධයක් තුළදී සිදුවෙයි. එසේ කියා ඒවා අත්හරිනු නොලැබේ. යුක්තිය පසිඳලන විට නීතිය ඉදිරියට මෙම නිලධාරීන් ගෙන ආ යුතුය. ශවේන්ද්‍ර සිල්වා තුට්ටු දෙකේ දේශපාලනඥයකු නොවේ. ඔහු රට වෙනුවෙන් යමක් කළ කෙනෙකි. දෙකයි පනහේ දේශපාලනඥයන් පරිදි ඔහු ද සිය වත්කම් අනීතික ලෙස ප්‍රසාරණය කරගෙන ඇති බව අසන අපේ ජනයා මහත් සේ කලකිරෙනවා නියතය. අපට දේශපාලනඥයන්ගෙන් වැඩක් නැත. එහෙත් අපට රණවිරුවන්ගෙන් වැඩක් තිබේ. එබැවින් ශවේන්ද්‍ර සිල්වා වහාම තම නිර්දෝෂීභාවය ඔප්පු කර නම පිරිසිදු කරගත යුතුය. මේ අතර තවත් යමක් කීමට තිබේ. බලය ඇති කාලයේ දී වත්කම් ප්‍රසාරණය කර ගත්තේ යැයි කියන දේශපාලනඥයන්ගෙන් සමහරු මේ වනවිට හිරගෙදර ය. තව සමහරු හිරගෙදරට යන බස් එකේ ය. තවත් සමහරු එම බස් එක නවත්වන හෝල්ට් එකේ ය. මේ ආදී වශයෙන් ආණ්ඩුව දූෂිතයන් ලෙස සැලකෙන පිරිස පසුපසින් පන්නමින් සිටී. හැබැයි ඊළඟ වාරයේ දී ආණ්ඩුව පැරදුණොත් දැනට දූෂිතයන් ලෙස නම් කොට සිටින පිරිස ආණ්ඩුවේ කට්ටිය පසුපස පන්නන්නට පටන් ගන්නවා ඇත.
දේශපාලනයෙන් මුදල් උපයා ගැනීම බොහෝ රටවල සිදුවේ. බටපතුරක් මෙන් දේශපාලනයට එන එකා ඉතා ස්වල්ප කාලයක් තුළ බැරල් එකක් තරමට විශාල වී වෙනදා ගමන් කළ පුෂ් බයික් එක අතහැර V8 එකක් පදින්නට පටන් ගනී. මේ V8 එක නත්තල් පප්පා විසින් හෝ ඩේසි ආච්චි විසින් තෑගි කළ එකක් නොවේ. මේවා තනිකරම දේශපාලන බලය පාවිච්චි කර ලබාගත් දේවල් ය. මධ්‍යම අප්‍රිකානු ජනරජය ලෙස හැඳින්වෙන රටක් අප්‍රිකා මහාද්වීපයේ තිබේ. මේ රට පාලනය කළේ බොකාසා නමැති හමුදා නිලධාරියෙකි. ටික කලකින් බොකාසා රත්තරනින් ඔටුන්නක් සාදා තෙමේම එය පැළඳගෙන බොකාසා අධිරාජ්‍යයා බවට පත් විය. ඔහුගේ බිරිඳට ගාමන්ට් ෆැක්ටරියක් තිබිණ. සමස්ත මධ්‍යම අප්‍රිකා ජනරජයේ සියලුම පාසල් දරු දැරියන් ඔවුන්ගේ පාසල් නිලඇඳුම ලබාගත යුතුව තිබුණේ මේ ගාමන්ට් ෆැක්ටරියෙනි. බොකාසා සහ බිරිඳ මේ ඇඳුම් බිස්නස් එකෙන් ගැසූ ගැසිල්ල ස්වල්ප නොවේ. සාමාන්‍යයෙන් රටවල් බොහොමයක රාජ්‍ය නායකයෝ බලය නැති වූ පසු හිරේ යති. ඔවුන් මෙසේ හිරේ යන්නේ එක්කෝ තම ප්‍රතිවාදීන් උස්සා මැරීම නිසාය. එහෙමත් නැතිනම් ටෙන්ඩර්වලින් කොමිස් ගැසූ නිසාය. එහෙමත් නැතිනම් භාණ්ඩාගාරය සුද්ද කළ නිසාය. මෙය ඉතා අවුල්සහගත තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ තිබෙන සෑම ඡන්දයකටම පසු අලුත් සල්ලිකාරයෝ විශාල ප්‍රමාණයක් බිහිවෙති. පසුකාලයේ දී සමාජවාදී ක්‍රමය තුළ ද මෙය මෙසේම සිදුවිය. සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමට එක් හේතුවක් වන්නේ නිලධාරීන් සහ දේශපාලනඥයන් අනීතික ලෙස ඇති තරම් මුදල් හම්බ කිරීම නිසාය. අසවල් රාජ්‍ය නායකයාගේ වත්කම මෙතරම් විශාල යැයි අපි විටින් විට පුවත්වලින් අසා දැන ගතිමු. මේ සල්ලි ඔවුන්ට ගෙනැවිත් දුන්නේ මෙහි පෙර ද සඳහන් කළ පරිදි නත්තල් පප්පා නොවේ. ඒවා ජනතාවගේ සල්ලි ය. හපුටුවට සිටි දේශපාලනඥයෙක් ඉතා සුවඳ ‘සැන්.පවඩුර්’ දාන්න පටන් ගන්නේ යම් දිනයක ද, ඔහු ගැන සැක කිරීම වැරදි නොවේ. එක්කෝ ඔහුට අනියම් සම්බන්ධයක් ඇත. නැතහොත් ඔහු අලුතෙන් සල්ලි හම්බකිරීමට පටන්ගෙන ඇත. මෙහි ඇති ලොකුම ප්‍රශ්නය දේශපාලනඥයන්ගේ සාක්කුවේ ජනතාවගේ සල්ලි පිරීම ය. එවැනි හොරුන්ට දඬුවම් කිරීම අනුර දිසානායකගේ අදහස නම් අපි එකෙන්ම ඔවුන් සමග සිට ගනිමු.