ඉරානය සහ ඊශ්‍රායලය අතර පවත්නා යුද්ධය අවසන් වන වගක්වත් නොපෙනේ. ඒ වෙනුවට යුද තත්ත්වය දිගින් දිගටම වැඩිවෙයි. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයෙන් වැඩිම ජීවිත හානිය සිදුවී ඇත්තේ ඉරානයට ය. එහෙත් වැඩිම මූල්‍ය පාඩුව සිදුව ඇත්තේ ඊශ්‍රායලයට ය. ඊශ්‍රායලය තවමත් යුද්ධ කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ය. ඔවුහු ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන යුද අවි පාවිච්චි කරති. ඔවුන් තවමත් ඉරානයට විරුද්ධව රසායනික අවි හෝ න්‍යෂ්ටික අවි පාවිච්චි කර ඇති බවට ආරංචියක් නැත. හැබැයි බැරිම තැනක දී රසායනික සහ න්‍යෂ්ටික අවිවලට යෑමට ඊශ්‍රායලය පසුබට නොවන බව අපගේ අදහස ය. ඊශ්‍රායලය ඉරානයට විරුද්ධව පාවිච්චි කරන ඇතැම් බංකර් බස්ටර් මිසයිලයක් ලංකාවේ මුදලින් රුපියල් බිලියන විස්සක් පමණ වේ. මෙය මිල අඩුම බංකර් බස්ටර් මිසයිලයක වටිනාකම ය. එවැනි මිසයිලයක් අඩි 10ක් පමණ උස වන අතර, කොන්ක්‍රීට් බංකරයක් කඩාගෙන අඩි සියයක් පමණ මහපොළොව ඇතුළට ගොස් පිපිරිය හැකිය. සමහර විට මේ බංකර් බස්ටර් මිසයිලයක් බංකරයට යන විට එහි සිටින ඉරාන යුද හමුදා සෙබළුන් හෝ ඉරාන බුද්ධි අංශ ප්‍රධානීන් නික්ම ගොසිනි. ඒ නිසා මිසයිලය අපතේ යයි. මිසයිලයේ අරමුණ වන්නේ බංකරය කඩාගෙන ගොස් සතුරා ඝාතනය කිරීම ය. බංකරය කැඩී සතුරා ඉතිරි වුණොත් එයින් ප්‍රයෝජනයක් නොවේ. අධික යුද වියදම නිසා ඊශ්‍රායලය තව සති කිහිපයක් තුළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා ඇත. ඒ නිසා නුවණට හුරු කාරණය වන්නේ මේ යුද්ධය නවත්වා දැමීම ය.
ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්නේ ඒ රටේ න්‍යෂ්ටික අවියක් සාදන බවට චෝදනා කරමිනි. ඉරානය න්‍යෂ්ටික පරීක්‍ෂණ පවත්වන නමුදු එරට සතුව න්‍යෂ්ටික බෝම්බ නැති බව අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය සඳහන් කර තිබේ. ඊශ්‍රායලය හෝ ජනාධිපති ට්‍රම්ප් මේ බව පිළිගන්නේ නැත. ඒ අතර ඉරානය සතුව න්‍යෂ්ටික අවි නැති බව ඇමෙරිකානු බුද්ධි අංශය ද පවසා තිබේ. ජනාධිපති ට්‍රම්ප් කියන්නේ තම රටේ බුද්ධි අංශය බොරු කියන බවය. රාජ්‍ය නායකයා විසින් තම රටේ බුද්ධි අංශය බොරු කියන බව කීමෙන් විශාල අර්බුදයක් හටගනී. එවිට බුද්ධි අංශය ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගනී. මෙවැනි දෙයක් පාකිස්තානය වැනි රටක සිදු වුණානම් ඒ රටේ බුද්ධි අංශය විසින් පැය 24ක් තුළ ආණ්ඩුව පෙරළා දමනු ලැබේ. එහෙත් ඇමෙරිකාව සහ එහි නිලධාරි බලඇණිය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නිසා තවමත් එවැනි අර්බුදයක් හටගෙන නැත.
ඊශ්‍රායලය විසින් ඉරානයට පහරදෙන ලද්දේ ඊශ්‍රායලයේ ප්‍රධානතම බලගතු සතුරා ඉරානය නිසාය. පලස්තීනය ඒ තරම් බලගතු සතුරකු ලෙස ඊශ්‍රායලය විසින් පිළිගනු ලබන්නේ නැත. පලස්තීනය හෝ හමාස් සංවිධානය හෝ හිස්බුල්ලා සංවිධානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරයි. ඔවුන් කරන්නේ තමන්ට ධනය ලබාදෙන ඊශ්‍රායල් විරෝධී ඉස්ලාමීය රටවල ආධාරයෙන් පිටරටවලින් ආයුධ ලබාගැනීම ය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර යුද අවි වෙළෙඳපොළ තුළ චීන යුද අවි ලාබෙට ලබාගත හැකිය. උදාහරණයක් ලෙස දැනට අත්හිටුවා ඇති ඉන්දු – පාකිස්තාන් යුද්ධයේ දී ඉන්දියාවට විරුද්ධව පාකිස්තානය පාවිච්චි කළේ චීන යුද අවි ය. චීන බඩු එතරම් ගණන් නැත. එබැවින් එය යුද්ධයේ දී පහසුවක් වෙයි. එහෙත් ඊශ්‍රායලය යුද අවි මිලට ගන්නේ ඇමෙරිකාවෙනි. මේවා බෝම්බ හෝ පතරොම් නොව අයන් ඩෝම් වැනි මිසයිල ආරක්‍ෂක පද්ධති, විශාල රේඩාර් පද්ධති, න්‍යෂ්ටික අවි සඳහා අවශ්‍ය යුරේනියම් සහ ප්ලූටෝනියම් වැනි අමුද්‍රව්‍ය ය. තමන්ට අවශ්‍ය කරන ඉතිරි යුද අවි සියල්ලම ඊශ්‍රායලය රට තුළ තනා ගනී. එහි අතිරික්තය ජාත්‍යන්තර වෙළෙඳපොළේ දී අලෙවි කරනු ලැබේ. ඉරානය යුද අවි පිටරට යවන්නේ නැත. සමහර විට ඔවුහු හිස්බුල්ලා සංවිධානයටත්, හමාස් සංවිධානයටත් සහන මිලට හෝ නොමිලේ ආයුධ ලබාදෙයි. ඉරාන ආයුධ මිලෙන් අඩුය. යූරියා සහ වෙනත් සරල අමුද්‍රව්‍ය කිහිපයක් යොදා පී.වී.සී. බටවලින් හදන කුඩා මිසයිල වර්ගයක් ද ඒ රටේ තිබේ. මේවා මිලෙන් ඉතා අඩු ය. ප්‍රමිතිගත භාණ්ඩ නොවන බැවින් බොහෝ අවස්ථාවලදී මෙවැනි ප්‍රාථමික මිසයිල හඳුනා ගැනීමට අයන් ඩෝම් වැනි ආරක්‍ෂක පද්ධතිවලට හැකියාවක් නැත. මෙය සමාන වන්නේ කසිප්පු සහ විස්කි අතර තිබෙන තරගයට ය. කසිප්පු ගැසුවත් වෙරි වේ. විස්කි ගැසුවත් වෙරි වේ. විස්කි ලීටරය රුපියල් 23,000 කි. කසිප්පු බෝතලය රුපියල් 1500 කි. කසිප්පු ගැසුවත්, විස්කි ගැසුවත් දෙකෙන්ම වන්නේ වෙරිවීම ය. හැබැයි ඉහළ මධ්‍යම පාන්තික බීම මේසයේ දී විස්කි බෝතලය මේසය උඩ තිබ්බාට කසිප්පු බෝතලය මේසය උඩ තියන්නේ නැත. එය තබන්නේ පුටුව යටය. ඒ අනුව ජාත්‍යන්තර නීතිගරුක යුද අවි වෙළෙඳපොළ තුළ ඉරානයේ යූරියා මිසයිලවලට තැනක් නැත. හැබැයි මේ යූරියා මිසයිල ඊශ්‍රායල අහසේ දී අයන් ඩෝම් එකක් හිල්කරගෙන ගොස් බිමට වැටී පුපුරයි.
මීට දශක දෙකහමාරකට පමණ පෙර ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන ලදී. ඉරාකය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන බව ඇමෙරිකාව කීවේ ය. එහෙත් ජාත්‍යන්තර න්‍යෂ්ටික බලඅධිකාරියේ නිලධාරීහු ඉරාකයට ගොස් පරීක්‍ෂණ පවත්වා එවැනි න්‍යෂ්ටික අවියක් නැති බවට සහතික කළේ ය. එහෙත් ඉරාකය තුළ න්‍යෂ්ටික අවි තිබෙන බව ඔළුවෙන් හිටගෙන කියූ එවකට සිටි ඇමෙරිකන් ජනාධිපති ඉරාකයට හමුදා යවා ඒ රට කුඩුපට්ටම් කර ඒ රටේ ජනාධිපති වූ සදාම් හුසේන් එල්ලා මැරුවේ ය. කිසියම් රටකට පහරදීමට සිතුණු විට ඇමෙරිකාව කුමක් හෝ හේතුවක් හදාගෙන එම රටට ඇතුළු වෙයි. ජාත්‍යන්තර න්‍යෂ්ටික බලඅධිකාරිය සහ ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානයේ න්‍යෂ්ටික අවි නැති බව කියද්දීත් ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ථිර වශයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික අවි ඇතැයි කියන්නේ එරටට පහරදීමේ අපේක්‍ෂාවෙනි. සාමාන්‍යයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධ වෙනත් රටවල යුද්ධවලට මැදිහත් නොවන ජාතිකවාදියකු ලෙස ය. එහෙත් මෙවර සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකි. ඔහු විවිධ රාජ්‍ය නායකයන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඔවුන්ට අපහාස කර එළවා දමයි. මෙය තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයකි. හැබැයි ඇමෙරිකන් ජනතාව මෙය හරියට තේරුම් ගත්දාට ඉරාන-ඊශ්‍රායල් යුද්ධයට වඩා ලොකු අර්බුදයක් ඇමෙරිකාව තුළ හට ගන්නවා ඇත.