ආනයනයට අනුමැතිය ලැබුණු අය ඒවා වෙළෙඳපොළට දැම්මොත් ‘බ්ලැක්ලිස්ට්’ කරනවා – කෘෂිකර්ම ලේකම්
අතරමැදියන් කිහිපදෙනකු අඩු මිලට රටේ බඩඉරිඟු අස්වැන්න මිලදී ගෙන ගබඩා කරගෙන අධික මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. ජී. වික්‍රමසිංහ මහතා පවසයි.
අප්‍රේල්, මැයි සහ ජුනි මාස වන විට මෙරට බඩඉරිඟු අස්වැන්න නෙළා අවසන් වන බවත් එම අස්වැන්න අතරමැදියන් කිලෝව රුපියල් 120ත් 130ත් වැනි මිලකට ලබාගෙන කිලෝවක් රුපියල් 170ක් වැනි මිලකට අලෙවි කිරීමට උත්සාහ කිරීම ඉතා අසාධාරණ බවත් වික්‍රමසිංහ මහතා කීය.
අතරමැදියන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා සත්ත්ව ආහාර මිල ඉහළ යන බවත් ඉන් පසු බිත්තර සහ කුකුළු මස්වල මිල ඉහළ ගියහොත් එහි චෝදනකාව එල්ල වන්නේ රජයට බවත් ඔහු පැවැසීය. අතරමැදියන් වැඩි මිලට බඩඉරිඟු අලෙවි කිරීම නිසා ඒවා මිලදී ගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කළ නොහැකි බව පවසා සත්ත්ව ආහාර නිෂ්පාදකයන් බඩඉරිඟු ආනයනය කරන ලෙසට අනුමැතිය ඉල්ලා සිටි බවත් හෙතෙම කීය. එම ව්‍යාපාරිකයන් බඩඉරිඟු කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට දේශීයව ගැනීමට සූදානම් බවත් ලේකම්වරයා කීය.
ඔවුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සහ කුකුළු ගොවීන් කිහිප දෙනකුට බඩඉරිඟු ආනයනයට අනුමැතිය දුන්නත් මේ දිනවල ලෝකයේ ද බඩඉරිඟු හිඟවීම නිසා ආනයනය කිරීමට හැකිවී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද හෙතෙම පැවැසීය.
මෙරට බඩඉරිඟු ගබඩා කර අලෙවි කරන ඇතැම් ව්‍යාපාරිකයන් බඩඉරිඟුවල බර වැඩිවීමට ජලය ඉසීම, ගෝණි තුළට කළුගල් වැනි දේ දැමීම වැනි චෝදනා ද ඇතැම් අවස්ථාවල එල්ල වී ඇති බව වික්‍රමසිංහ මහතා කීය.
රජයට බඩඉරිඟු ආනයනය කිරීමට ප්‍රමුඛතාව දිය නොහැකි බවත් බිත්තර මිල, කුකුළු මස් මිල පාලනය වැනි දේ ගැන රජය අවධානය යොමු කළ යුතු බවත් කී ඒ මහතා බඩඉරිඟු මිල අධික ලෙස ඉහළ යෑමෙන් ඊට විකල්ප ලෙස සත්ත්ව නිෂ්පාදකයන් සහල් යොදා ගැනීමට කටයුතු කළහොත් රටේ සහල් ප්‍රශ්නයට ද එය බලපාන බව හෙතෙම පැවැසීය.
බඩඉරිඟු ආනයනය කිරීමට අනුමැතිය දී ඇත්තේ කුකුළු ෆාම් හිමියන්ට සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන්ට පමණක් බවත් එසේ ගෙන්වන බඩඉරිඟු ඔවුන් වෙළෙඳපොළට මුදා හැරියහොත් එම පුද්ගලයන් බ්ලැක් ලිස්ට් කර ඒවා ගෙන්වීම තහනම් කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා