2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.
ඊයේ (20 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය විය.
එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩකොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි. සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමාසහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව, 1978 සිට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 දී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නේය.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.