Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නූතන සිංහල සංගීතයෙහි මහා පුරුෂයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නූතන සිංහල සංගීතයෙහි මහා පුරුෂයා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඅතිරේක

නූතන සිංහල සංගීතයෙහි මහා පුරුෂයා

June 22, 2025
215 Views
ඡායාරූපය- සරත් පෙරේරා

වික්ටර් රත්නායක

ප්‍රසංගයට පනස් දෙවසරක් පිරීම නිමිත්තෙනි

වික්ටර් රත්නායක නූතන සිංහල සංගීතයෙහි මහා පුරුෂයාය. එය අතිශයෝක්තියක්ද? කිසිසේත්ම නැත. මේ සටහන අවසානය දක්වා කියවා බලන්න.

ඔහු 1942 පෙබරවාරි 18 වැනිදා කඩුගන්නාව පහළ මධ්‍යම පන්තියේ පවුලක උපන්නේය. උපන් දා පටන් කඩුගන්නාවේ ජීවත් වනතාක් කල් ඔහු දවස පුරා ඇසුවේ හින්දි සින්දු ය. ඉඳහිට දෙමළ ය. ඊට හේතුව ඔහුගේ නිවසට අල්ලපු නගර සභා පිට්ටනියේ ඉම්පීරියල් ටෝකීස් සහ මල්ලිකා ටෝකීස් නමැති සමාගම් දෙක ඉදි කළ සිනමා කූඩාරමක රෑ දෙගොඩහරිය වෙනතුරු හින්දි චිත්‍රපට පෙන්වීමයි. කන්පුරා චිත්‍රපට ගීත ඇසූ ඔහු කඩුගන්නාව කනිෂ්ඨයේ ඉගෙන ගන්නා කාලයේ එනම් 1958දී මධ්‍යම පළාත් ඒකල ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගත්තේ ය. අනතුරුව ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය වූ ‘එයාර් ෂිප්’ නමැති ගායන තරගයට ඉදිරිපත් වී දෙවැනි තැන දිනා ගත්තේ ය. (පළමු තැන හිමි වූයේ නන්දා මාලිනියටයි. දෙදෙනාම දුප්පත් පවුල්වල දරුවෝ ය.)

අනුන්ගේ සංගීත සාජ්ජ බලන්ට ගොස් වාද්‍ය භාණ්ඩ අත පත හා ටොකු පහර කෑ වික්ටර් කෙරෙහි අනුකම්පාවෙන් තාත්තා සර්පිනාවක් මිලදී ගෙන ආවේ මුදල් යහමින් ඇති නිසා නොවේ. ඉවෙන් මෙන් පුතුගේ අනාගතය දුටු නිසා ය. ස්වර සප්තකය නොදැන ඉතා මියුරු ලෙස සර්පිනාව වාදනය කරන පුත්‍රයා පියා විසින් නුවර සංගීතායතනයකට කැඳවාගෙන යනු ලැබුවේ විධිමත් සංගීත අධ්‍යාපනයක් ලබාදීම සඳහා ය. මහා සංගීතඥ එම්. ජී. පෙරේරාගේ නාමයෙන් පිහිටුවා තිබුණු එම්. ජී. පී. කලායතනයේ සිරිල් පෙරේරා සංගීතාචාර්යවරයා යටතේ වික්ටර් වයලීන වාදනය ඉගෙන ගන්ට විය. වික්ටර්ගේ පියා කෙසේ හෝ වයලීනයක් ද මිලදී ගෙනාවේය. වික්ටර්ගේ දක්ෂතා දුටු සිරිල් පෙරේරා මාස්ටර් මාස 06කින් පසු ඔහුගෙන් මුදල් ගැනීම නතර කළේ ය. ශිල්ප ලබාදුන්නේ ඔහු ශිෂ්‍යත්වලාභියකු ලෙස සලකා ය.

මහනුවර එම්. ජී. පී. කලායතනයේ සිරිල් පෙරේරා ගුරුතුමන් වෙතින් විධිමත්ව සංගීතය හදාරා වික්ටර් දක්ෂ වයලීන් වාදකයෙක් විය. ලංකා ගාන්ධර්ව සභාව පැවැත් වූ ගාන්ධර්ව මධ්‍යම විභාගයට පෙනී සිට ගායනය සහ වාදනය යන අංශ දෙකෙන්ම සමත් වූ වික්ටර් 1963 රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව ඩිප්ලෝමා සහතිකය ලබාගත්තේ ය.

එතැනින් ඔබ්බට සංගීතය හැදෑරීම සඳහා ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨයට යෑමටවත් බෝල්පූර්හි ශාන්ති නිකේතනයට හෝ අලහබාද් විශ්වවිද්‍යාලයට යෑමටවත් වික්ටර්ගේ අතෙහි මුදල් තිබුණේ නැත. ඔහුට ඒ පිළිබඳ ලොකු වුවමනාවක් තිබුණේ ද නැත. ඒ නිසා ඔහු ‘සංගීත් විශාරද්’, ‘සංගීත් නිපුන්’, ‘සංගීත් ප්‍රභාකර්’, ‘සංගීත් අලංකාර්’ වැනි උපාධි කිසිවක් නැති නිකම්ම නිකන් පාඨශාලාචාර්යවරයා විය.

වික්ටර්, සිරිල් පෙරේරා ගුරුතුමාගෙන් ලබාගත් දැනුම පිරිපහදු වූයේ පෙර අපර දෙදිග සංගීතය පිළිබඳ මනා ප්‍රායෝගික දැනුමකින් හෙබියා වූ ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ ඇසුරට වැටීමත් සමග ය. ඒ පිළිබඳ කවුරුත් දන්නා පුවත සැකෙවින් මෙසේ ය.

ආධුනික ශිල්පීන් තෝරා ගැනීම සඳහා චන්ද්‍රසේන මාස්ටර් නුවර ‘කැන්ඩි ලේක් කල්බ්’ හි හඬ පරීක්ෂණයක් පැවැත්විය. එහිදී ‘ඩීඩාර්’ සහ ‘කොහිනූර්’ චිත්‍රපටවල ගීත 02ක් ගැයූ ඔහු, ඉහළින්ම සමත් විය. වයලීන පරීක්ෂණයෙන් ද සමත් වූ වික්ටර්, එතැන් පටන් සති අන්තවල ‘කැන්ඩි ලේක් ක්ලබ්’ හි හින්දි ගීත ගැයීය. වාද්‍ය වෘන්දයේ ද කටයුතු කළේ ය. කොළඹ තිබුණු සංගීත පටිගත කිරීම්වලට ද චන්ද්‍රසේන මාස්ටර් විසින් වික්ටර් කැඳවන ලදී. වික්ටර්ගේ බටහිර සංගීතය පිළිබඳ දැනුමට තක්සලාව වූ බව පෙනෙන්නේ ‘චන්ද්‍රසේන සංගීතායතනය’යි. එවක රජයේ සංගීත විද්‍යාලයේ බටහිර සංගීතය ඉගැන්වූයේ නැත. චන්ද්‍රසේන මාස්ටර් පියානෝවේ වාදනය කරන තනුව ක්ෂණයකින් ස්වර ලිපියක් බවට පත් කිරීමට තරම් දැනුමක් චන්ද්‍රසේන මැතිනිය තුළ විය. පෙරදිග ස්වර ලිපි බටහිර රේඛා මණ්ඩල ප්‍රස්තාර ක්‍රමයට පරිවර්තනය කිරීමට ද ඇය සිසුන්ට කියා දුන්නා ය. ආධුනිකයෝ සංඝාත (Chord) කවරේදැයි ඉගෙන ගත්හ. ප්‍රසංවාද (Counter Melody) කවරේදැයි ඉගෙන ගත්හ. චන්ද්‍රසේන මාස්ටර් සංගීත නිර්මාණයේදී මේ ශිල්පෝපක්‍රම භාවිත කළේ ය.

අමරදේව, කේමදාස, ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන්ගේ වාද්‍ය වෘන්දයන්හි වාදකයකු ලෙස වැඩ කරද්දී ඔහු සංගීත සංයෝජනය ආදී කරුණු ගැන අතිරේක දැනුම රැස් කරගන්ට ඇත.

වික්ටර්ට ආණ්ඩුවේ පාසල් හතරක පත්වීම් ලැබුණේ ය. එහෙත් ඒ ගුරු සේවය නොපිරිහෙළා ඉටු කිරීමට ඔහු අසමත් විය. මක්නිසාද යත් දැන් වික්ටර් ප්‍රවීණ වයලීන වාදකයකු වී සිටි බැවිනි. ඔහු ඇම්. කේ. රොක්සාමි, ඩග්ලස් ෆර්ඩිනන්ස් ආදී ප්‍රවීණයන් සමග එක පෙළෙහි වයලීනය වැයුවේ ය. එහෙත් ගායකයකු වීමේ සිහිනය බොඳ වී තිබුණු හෙයින් ඔහු තුළ තිබුණේ කනස්සල්ලකි. ඒ සිහිනය සැබෑ වූයේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු හැටියට ගුවන්විදුලි ස්වදේශීය සේවයට ගීත 03කුත් වෙළඳ සේවයට ගීත 03කුත් ගැයීමට අවස්ථාව ලැබීමත් සමග ය. ඔහු ස්වදේශීය සේවයට ‘සිඳැ බිඳැ මොහඳුරු පාප’, ‘ගොළු මුහුදේ මුතු ඇටේ’, ‘ඈත පෙනෙනා හිමවු කඳු මත’ යන ගීත 03ත් වෙළඳ සේවයට ‘මයුරාසන මත වැඩ හිඳිනා’, ‘පාවේ වලා’ (තනුව මර්වින් පෙරේරා), ‘සෝක සැනසුම් වේදනාවන්’ (තනුව මර්වින් පෙරේරා) යන ගීත 03ත් ගායනා කළේ ය. ඒ ගීත 06ත් සමග තවත් ගීත 02ක් ගුවන්විදුලි තැටි ගබඩාවේ තිබිණ. එනම් චන්ද්‍රසේන මාස්ටර් සංගීතවත් කළ ‘මණිචෝර’ නාටකයට ගායනා කළ ‘දෙවඟන පරදන කොමළ කතා’ සහ ඩී. ආර්. පීරිස්ගේ තනුවකට ඔහුගේ වැඩසටහනකට ගැයූ ‘හදේ සුසුමක් පතිත වීමෙන්’ යන ගීත 02යි.

ගීත 08ක් තැටි ගබඩාවේ තිබුණත් වික්ටර් ගායකයකු වී සිටියේ නැත. ඒ වික්ටර්ට පමණක් නොව, එවක ස්වතන්ත්‍ර ගී තනු ගායනය කරමින් සිටි සියලු ශිල්පීන්ට අත්ව තිබුණු ඉරණමයි. ශාන්ති ගීතදේව, කුලරත්න තෙන්නකෝන්, ඩබ්. එෆ්. විමලසිරි, දයාරත්න රණතුංග, නාරද දිසාසේකර, දේවානන්ද වෛද්‍යසේකර, අයිවෝ ඩෙනිස්, රෝහිත විජේසූරිය ඒ ඉරණමට මුහුණ දෙමින් සිටි ශිල්පීන් කිහිපදෙනෙකි. ගුවන්විදුලි වෙළඳ සේවය ඔස්සේ උදේ සිට සවස් වනතුරු අඛණ්ඩව ප්‍රචාරය වූ අනුකාරක ගීත අතර මේ ස්වතන්ත්‍ර ශිල්පීන්ගේ ගීත සැඟවී ගොස් තිබිණ.

ගුවන්විදුලි වෙළඳ සේවයට අනුකාරක ගී වැඩි වශයෙන් ගැයුවේ ජෝතිපාලය. දෙවැනුව මිල්ටර් පෙරේරා ය. ඔවුන් ඒ මධුර ගී තනු උපුටා ගෙන තිබුණේ නෞෂාද්, ශංකර් ජයකිෂන්, ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්, මදන් මෝහන්, සලීල් චෞද්රි, රහුල් දේව් බර්මන්, ඌෂා ඛන්නා ආදීන්ගේ චිත්‍රපට ගී වලිනි. ඔවුන්ගේ චිත්‍රපටයක් ලංකාවේ තිරගත වූ වහාම ඒ ගී සිංහලයට පෙරළුණි. හැම ගීයක්ම අතිශය ජනප්‍රිය විය. යම් තරමකට මේ තත්ත්වයට ඔරොත්තු දීගෙන සිටියේ සනත් නන්දසිරි සහ සී. ටී. ප්‍රනාන්දු යන ශිල්පීන් දෙදෙනා පමණි. ඔවුන්ගේ ගීත වෙළඳ සේවයට පවා ඕනෑ වී තිබුණි.

මෙම අනුකාරක සංගීතය ගුවන්විදුලියට මහා හිසරදයක් විය.

1949 ගුවන්විදුලියට පත්ව ආ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ජෝන් ලැම්ප්සන් සිය පාලන වාර්තාවේ සඳහන් කළේ, සිංහල සංගීතයක් ගොඩනැඟීම දුෂ්කර වී ඇත්තේ හින්දි ගී තනු අනුකරණය නිසා බවයි. 1952 ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය සඳහා ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ සිට පැමිණි එහි විදුහල්පති එස්. එන්. රතන්ජංකර් ද කියාසිටියේ, හඬ පරීක්ෂණය සඳහා තමා හමුවට ආ ශිල්පීන් 716 දෙනාගෙන් වැඩි දෙනා ගායනා කළේ හින්දි ගී අනුකරණ බවයි. 1953 පත් වූ එන්. ඊ. වීරසූරිය කමිටුව මෙන්ම 1960 පත් වූ එදිරිවීර සරච්චන්ද්‍ර කමිටුවත් අනුකාරක ගීයට එරෙහි වුවත් ඉන් ඵලක් නොවීය. සරච්චන්ද්‍ර කමිටුව කියා සිටියේ, මේ ‘පහත් සින්දු’ නිසා ස්වදේශීය සේවයෙන් උසස් සංගීතයක් ගොඩනඟන්ට ගන්නා උත්සාහයට පහර වැදෙන බවයි.

ගුවන්විදුලිය ‘උසස් සංගීතයක්’ බිහි කිරීම සඳහා 1955 සිට අලුත් වැඩසටහන් මාලාවක් ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ‘රස ධාරා’, ‘ගීත මාලා’, ‘ගීත නාටක’, ‘ජන ගායනා’, ‘මධුවන්ති’, ‘ස්වර වර්ණ’ ඒ අතරින් කිහිපයකි. මේ වැඩසටහන්වලින් උපුටා ගත් විශිෂ්ට – මධුර ගීත මාලාවක් නිතර වාදනය කළත් අනුකාරක සංගීතය ගලා එන වක්කඩ වසන්ට ඒ ගී සමත් වූයේ නැත. ගුවන්විදුලි අනුකාරක සංගීතය, ඖෂධයකින් සුව කළ නොහැකි ව්‍යාධියක් බවට පත්ව තිබුණි.

ගුවන්විදුලි වෙළඳ සේවයේ සිය 09 වැනි ගීතය පටිගත කරන්ට වික්ටර් සූදානම් විය. මුල් සරල ගීතවලදී වචනවලට තනු නිර්මාණය කළ ඔහු මෙවර තනුවක් නිර්මාණය කර සේන ජයන්ත වීරසේකර ලවා ‘සිසිල් සුළං රැල්ලේ’ යන පදමාලාව ලියා ගත්තේ ය. සංගීත සංයෝජනයේ දී ගීතයට නැවුම් මුහුණවරක් ලබාදුන්නේ ය. සාමාන්‍ය සරල ගීයකදී අසන්ට නොලැබුණු ‘කවුන්ටර් මෙලඩි’ ආදිය ඇතැම් තැනක පදමාලාවේ අරුත තීව්‍ර වන ලෙස යොදා ගැනිණ. (‘හදවත දලු සෙලවේ’). දැවැන්ත වාද්‍ය වෘන්දයක් භාවිත කරමින් පටිගත කෙරුණු ‘සිසිල් සුළං රැල්ලේ’ අසාමාන්‍ය සරල ගීයක් විය. ගුවන්විදුලියේ ඇතැම් වැඩිහිටියන් ඒ පටිගත කිරීම දෙස බලාසිටියේ, ගැටවරයන් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියාවක් දෙස බලා සිටින්නාක්මෙනි. මන්ද යත්, ඒතාක් සරල ගී යනු, ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු සමග කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල පටිගත කිරීමක් වූ බැවිනි. ‘සිසිල් සුළං රැල්ලේ’ පිටතින් පැමිණි වයලීන් වාදකයන් රැසක් සමග කළ අසාමාන්‍ය පටිගත කිරීමකි. ‘සිසිල් සුළං රැල්ලේ’ එක රැයකින් ජනප්‍රියත්වයට පත් විය.

වික්ටර්ට එළිමහන් ප්‍රසංග සඳහා ද කැඳවීම් ලැබිණ. ඔහු එළිමහන් වේදිකාවේ ‘පාවේ වලා’, ‘සෝක සැනසුම්’, ‘සිසිල් සුළං රැල්ලේ’ ගීත 03 ගායනා කළේ ය. ඔහුට රු. 50/-ක් ලැබිණ. ඒ වනවිට ජෝතිපාල එළිමහන් ප්‍රසංගයක් සඳහා අය කළ මුදල රු. 250/-කි.

‘සිසිල් සුළං රැල්ලෙන්’ පසු වික්ටර් රත්නායක මුලින්ම ජනප්‍රිය වූයේ, ගුවන්විදුලි ආයතනය තුළ ය. උසස් රසඥතාවක් තිබුණු සිංහල අංශයේ වැඩසටහන් සම්පාදකයන්, නිවේදක නිවේදිකාවන් වික්ටර්ගේ පටිගත කිරීමක් එනතුරු විමසිලිමත්ව බලා සිටියහ. ඔව්හු පටිගත කිරීම් නැරඹූහ. ඇතැම් ගීත, සරල ගී වැඩසටහනෙහි ප්‍රචාරය වන්ට ද පෙරාතුව සිය වැඩසටහන්වලින් ප්‍රචාරය කළහ. ඇතැම් ගීත, වැඩසටහන්වල තේමා ගීතය බවට පත් කරගත්හ. සැබැවින්ම වික්ටර් ගයන ගයන ගීය ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගියේ ය.

වික්ටර්ගේ ජනප්‍රියත්වයට වික්ටර් – ප්‍රේමකීර්ති සුසංයෝගය ද බලපෑවේ ය. වික්ටර්ට රචකයන් කිහිප දෙනකුම ගීත රචනා කළත් වික්ටර්ගේ සංගීතය හා අත්‍යන්තයෙන් බැඳුණේ ප්‍රේමකීර්තිගේ රචනා ය. ඒවා තිබුණේ, මහගම සේකරටත් කරුණාරත්න අබේසේකරටත් අතර මැදි තැනක ය. ප්‍රේමකීර්තිගේ වචන, වික්ටර්ගේ හඬ මෙන්ම යොවුන් සිත් සසල කළේ ය.

දේශපාලන පත්වීමක් ලැබ ජී. එස්. බී. රාණි පෙරේරා 1970 ගුවන්විදුලියේ සංගීත අංශයේ නිෂ්පාදිකාවක ලෙස පත් වී ඒමත් වික්ටර්ට ආශිර්වාදයක් විය. එවක ගුවන්විදුලියේ සභාපතිවරයා වූ සුසිල් මුණසිංහ, රාණි පෙරේරා වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කරමින් කියාසිටියේ, අනුකාරක ගීත වාදනය හැකිතාක් සීමා කර ගුවන්විදුලි තැටි ගබඩාවේ ස්වතන්ත්‍ර ගී සුලබ කරන ලෙසයි. ගුවන්විදුලියට අනුකාරක ගීතම ගයා ජනප්‍රියත්වයට පත්ව සිටි රාණි පෙරේරා තමාටම එරෙහිව ක්‍රියා කරමින් ස්වතන්ත්‍ර ගීත රැසක් තැටි ගබඩාවට එක් කළා ය. ඒ ඇය නිෂ්පාදනය කළ ‘ජන ප්‍රසංගනි’, ‘ගීත තරංගනි’ ඇතුළු තවත් විශේෂ සංගීත වැඩසටහන් ඔස්සේ ය. වික්ටර්ගේ ‘තොටුපොළ අයිනේ’, ‘බිංදුමතී’, ‘මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී’ ඇතුළු රසාලිප්ත ගීත රැසක් රාණි පෙරේරාගේ වැඩසටහන්වලින් බිහිවිය. ඇය නිසා වික්ටර් තවත් වාසියක් අත්පත් කර ගත්තේ ය. කලක පටන් බටහිර තූර්ය භාණ්ඩ රැසක්ම ගුවන්විදුලියට තහනම් විය. රාණි පෙරේරා වික්ටර්ගේ පටිගත කිරීම්වලට හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායම්වලින් ඒ භාණ්ඩ ගුවන්විදුලියට ගෙන ඒමට විශේෂ අවසරය ලබාදුන්නා ය. 73 සිට 77 දක්වා වූ රිජ්වේ තිලකරත්න සභාපති ධුරය දැරූ කාලය ද වික්ටර් රත්නායකට ආශිර්වාදයක්ම විය. ඒ ඔහු ඉතා සංවේදී ගීත රසිකයකු වූ බැවිනි.

දැන් වික්ටර් රත්නායක ලංකාවේ අසහාය ගායකයා වී සිටියේ ය. රසිකයෝ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් වෙත ඔහු තල්ලු කරමින් උන්හ. ඒ වනවිට සාර්ථක ඒකපුද්ගල ප්‍රසංග දෙකක් පිළිබඳ පූර්වාදර්ශ ද තිබිණ. ඒ අමරදේවගේ ‘ශ්‍රවණ රමණී’ සහ නන්දා මාලිනිගේ ‘ශ්‍රවණ ආරාධනා’ යි. වික්ටර් රත්නායක 1973 ජූලි 20 වැනිදා ‘ස’ නමින් ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් වේදිකාගත කළේ ය. ඔහුගේ ජනප්‍රියත්වයේ තරම එදා රටට අනාවරණය විය. කිසිවකුත් නොසිතු විරූ ලෙස අසාමාන්‍ය ජන ගඟක් ගලා ආ අතර හැවුලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ සියලු දොර ජනෙල් බිඳී ගියේ ය.

එතැන් පටන් ලංකාවේ සතර දිග් භාගයේ ‘ස’ වේදිකාගත නොකළ තැනක් නැත. 1976 ජූලි 03 වැනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේදී ද දර්ශන වාර 02ක් පැවැත්විණි. යාපනයේ රාමනාදන් ලලිත කලා ඇකඩමියේ දෙමළ සිසු සිසුවියන් ඇතුළු දෙමළ රසික රසිකාවන්ගෙන් වීරසිංහම් ශාලාව පිරී ඉතිරි ගියේ ය.

‘ස’ නරඹන්නට අතුරු සිදුරු නැතිව පොර කෑ පිරිස අතර අමරදේව රසිකයෝ ද වූහ. ජෝතිපාල රසිකයෝ ද වූහ. මේ සංසිද්ධිය මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් අමරදේවයන් කියා සිටියේ, වික්ටර් ජනප්‍රිය ගීතය සහ සම්භාව්‍ය ගීතය යන කුලක දෙක හරහාම සිය මධුර හඬ මුදා හළ, මධුර හඬකින් සහ තීව්‍ර ස්වර ඥානයකින් යුතු ගායන ශිල්පියකු බවයි. ජෝතිපාල කියාසිටියේ, තමා තුළ සංගීතය පිළිබඳ මුහුකුරා ගිය අවබෝධයක් නැතත් වික්ටර්ගේ ස්වර රටාවල ඇති කලාත්මක අගය තමාට වටහා ගත හැකි බවත් ගීතය සහ සංගීතය මේ රටේ ජීවත් කරවන්නට දරන මහඟු වෑයම අගය කරන බවත් ය.

වික්ටර් සිය තනු නිර්මාණයට අවශ්‍ය තරමට බටහිර සංගීතය උපයෝගී කරගත්තේ ය. ‘අඳුර බිඳින්නට රැයක් දවාලූ’, ‘හෝපලු වනපෙත’ වැනි ගීයකදී උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් උපරිම පල නෙළා ගත්තේ ය. ‘කුණ්ඩුමනී’ වැනි ගීයකදී කර්ණාටක සංගීතය භාවිත කළ වික්ටර් ‘ඉසුරු දෙවිඳු උමයංගන’ ගීතයේ දී මෙන්ම ඒ ගීතය ඇතුළත් ‘සරුංගලේ’ චිත්‍රපටය පුරා ඖචිත්‍ය පූර්වකව කර්ණාටක සංගීතය උපයෝගි කරගත්තේ ය. ජන සංගීතය පාදක කරගෙන නිර්මාණ රැසක් කළ වික්ටර් ‘සිරිබො අයියා’ චිත්‍රපටය පුරා ජන සංගීතය විහිදුවා 1980 හොඳම සංගීතය අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති සම්මානය ද දිනාගත්තේ ය.

‘ස’ නැරඹීම තරුණ පරම්පරාවේ උන්මාදයක් විය. ‘ස’ 49 වාරයක් නැරඹූ යුවතියක් වික්ටර්ගේ හිස කෙස් 49ක් ගලවාගෙන ගොස් තිබිණ. වික්ටර් වේදිකාවේ ගීත ගයද්දී දහදිය පිස දැමූ ලේන්සුව සොරකම් කරගන්ට බාලිකාවෝ පොර කෑහ. ප්‍රසංග සංවිධායකයෝ ප්‍රසංගය අවසන් වූ සැණින් වික්ටර් නේපථ්‍යාගාරයට ගෙන ගොස් අගුළු දැමූහ. ඒ ඔහු රසිකයන්ගෙන් ගලවා ගැනීම සඳහා ය. ගාමිණි විජේතුංග ‘දෙසතිය’ සඟරාවට ලියමින් පැවසුවේ, වික්ටර්ගේ මේ ජනප්‍රියත්වය බමුණු කුලයේ බිඳ වැටීමක් කියා ය.

‘ස’ ප්‍රසංගයෙහි පැවැත්ම වූයේ ප්‍රධාන වශයෙන් වික්ටර්ගේ කටහඬ ය. අනතුරුව ඔහුගේ තනු නිර්මාණ හා සංගීත සංයෝජන ය. පදමාලා ය. 15 දෙනකුගෙන් සමන්විත ඉහළම ගණයේ වාද්‍ය වෘන්දය ය. පසු කාලයේදී ජන ගී ගයන්නටත් නැතිවම බැරි වූ ‘ඝරපුවරුවක්’ වත් එදා ඒ වාද්‍ය වෘන්දයේ නොතිබුණි. අද වේදිකා ප්‍රසංගවල දැකිය හැකි නාද හාස්කම් – ආලෝක හාස්කම් – විසිතුරු වේදිකා සැරසිලි එදා නොවී ය.

වික්ටර් රත්නායක විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායකයකු බවට පත් වූයේ, ‘ස’ ප්‍රසංගයත් ආරම්භ කර වසර 03කටත් පසුව ය. එනම් 1977දී ය. ඔහු සරල ගී ගායනය නතර කරනවිට ගුවන්විදුලි තැටි ගබඩාවේ ස්වදේශීය සේවයට පමණක් ගයා තිබුණු ගීත සංඛ්‍යාව 300කට අධික විය. එයින් ගීත 60කට වඩා රචනා කර තිබුණේ ප්‍රේමකීර්ති ය.

‘ස’ දර්ශන වාර 1300කින් අවසන් කරද්දී රට පුරා ප්‍රශස්ත රසඥතාවක් සහිත ශ්‍රාවක පිරිසක් බිහි වී සිටියේ ය.

වික්ටර් රත්නායක නිසා සිදුවූයේ එපමණද? ජෝතිපාල ස්වතන්ත්‍ර නිර්මාණ ගයන්ට පටන්ගෙන තිබුණි. කරුණාරත්න අබේසේකර රචනා කළ ‘දුරකථනයකින් මම ඔබ අමතමි’, ‘නීල දෑස පුරා’, ‘දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට’, ‘ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා’ වැනි මියුරු ගීත ඒ අතර විය. වික්ටර් තමා සංගීත අධ්‍යක්ෂණය කළ ‘අනුපමා’ චිත්‍රපටයට ජෝතිපාල ලවා ස්වතන්ත්‍ර ගීත 02ක් ගායනා කරවී ය. ‘රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ’, ‘සිහින විලේ නිලුපුලී’ යන ඒ ගීත 02 ම ජනප්‍රිය විය. ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක ආදීන්ගේ මධුර ස්වතන්ත්‍ර ගී රැසක් ජෝතිපාල විසින් ගුවන්විදුලියට ගයන ලදී. ජේ. ඒ. මිල්ටර් පෙරේරා ද අබේසේකරයන් රචනා කළ ‘නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ’, ‘සඳ නැත බැබළෙන්නෙ’, ‘රුවන් මැඳුර ඔබට ඉදි කෙරු’, ‘ඇස රැඳුණ රැඳුණ තැන්වල මුව මඬල හිනැහුණා’, ‘ඔබ තරමට මා නැළවූ’ වැනි මියුරු ස්වතන්ත්‍ර ගීත රැසක් ගායනා කළේ ය. ඔහු වික්ටර් ලවා ද සිය ගීතවලට තනු නිර්මාණය කර ගත්තේ ය. (දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි) වික්ටර් රත්නායක හින්දි අනුකාරක ගී ගයන්ට පටන් ගත්තා නම් සිදුවිය හැකිව තිබුණු සන්තෑසිය පී. ඇල්. ඒ. සෝමපාල ‘පෙම්බර මධු’ චිත්‍රපටයෙන් පෙන්වා දුන්නේ ය. සෝමපාල ස්වකීය ස්වතන්ත්‍ර තනුවකැයි වික්ටර් රවටා අනුකාරක තනුවකට ‘පෙම්බර මධු’ ගීතය ගායනා කරවී ය. එය වික්ටර්ගේ ජනප්‍රියම ගීයක් බවට පත්විය.

වික්ටර් සටන් වැදුණේ නෞෂාද්ලා, ෂන්කර් ජයකිෂන්ලා, ලක්ෂ්මීඛාන්ත් ප්‍යාරේලාල්ලා, මදන් මෝහන්ලා, රාහුල් දේව් බර්මන්ලා සමග ය. තනිවම කළ ඒ සටනින් ඔහු ජය ගත්තේ ය. ගුවන්විදුලියට ද ජය ලබාදුන්නේ ය. ඉන්පසුව ගුවන්විදුලි කොමිසම්වල ‘අනුකාරක ගීත’ ගැන මැසිවිලි නැඟුණේ නැත.

ලංකා ගුවන්විදුලිය නිෂ්පාදනය කළ ‘රස ධාරා’, ‘ගීත මාලා’, ‘ගීත නාටක’, ‘ජන ගායනා’, ‘මධුවන්තී’, ‘ස්වර වර්ණ’ වැනි කිසිදු වැඩසටහනකට කරන්ට බැරි වූ දෙයක් තනි වික්ටර් රත්නායක සිදු කළේ ය. අද ‘අනුකාරක සංගීතය’ කියා මාතෘකාවක් සිංහල සංගීතයෙහි නැත.

ගුවන්විදුලි සංගීත ඉතිහාසයෙහි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ වික්ටර් රත්නායක ඒ ගැන පාරම් බෑවේ නැත. පුරසාරම් පුරාජේරු පැවසුවේ නැත. ඔහු සිය මෙහෙය නිමවා පසෙකට විය.

සිංහල සංගීතයට කළා වූ මේ සුවිසල් මෙහෙය අගයමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වික්ටර් රත්නායක වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුවේ ය.

සිංහල සංගීත ඉතිහාසයෙහි වික්ටර් රත්නායක වැන්නෙක් වික්ටර් රත්නායකට පෙර පහළ වී නැත්තේ ය. වික්ටර් රත්නායකට පසුව ද වික්ටර් රත්නායක වැන්නෙක් පහළ වී නැත්තේ ය. සුනිල් සාන්ත ගුවන්විදුලියෙන් බිහි වූ ප්‍රථම ‘සුපිරි තරුව’ ය. වික්ටර් රත්නායක ගුවන්විදුලියෙන් බිහි වූ දෙවැනි ‘සුපිරි තරුව’ය.

වික්ටර් රත්නායකගේ අනුප්‍රාප්තික ගායන ශිල්පීහු කිසිවෙක් අනුකාරක ගීත නොගැයූහ. මර්වින් පෙරේරා, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න, මිල්ටන් මල්ලවාරච්චි, සෝමතිලක ජයමහ, ගුණදාස කපුගේ, ප්‍රියා සූරියසේන, බන්දුල විජේවීර, පුන්සිරි සොයිසා, ෂර්ලි වෛජයන්ත, රෝහණ සිරිවර්ධන, බණ්ඩාර ආතාවුද, ලක්ෂ්මන් විජේසේකර, අබේවර්ධන බාලසූරිය ඔවුනතුරින් කිහිප දෙනකු පමණි. හින්දි තනුවක් ගැයීම ලජ්ජාවට කාරණයක්, මදිපුංචිකමක් බවට පත්ව තිබිණ. සංගීත ක්ෂේත්‍රයේ එබඳු ආස්ථානයක් ඇති කිරීම සුළු පටු වැඩක් ද? වික්ටර් රත්නායක සුළු පටු මිනිසෙක්ද? නැත. මහා පුරුෂයෙකි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති
සම්මානිත මහාචාර්ය
● සුනිල් ආරියරත්න

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
අකුරු දි​ගේ අතිරේක

භික්ෂුවකගේ වගකීම සහ නූතන ගීතයේ ‘හේමරතන’ මුද්‍රාව

අකුරු දි​ගේ අතිරේක

පවන් සලන ලෙස රෝ දුක් නිවේවා!

අතිරේක මීවිත

ක්ලැරා-ශීලාගේ අපූරු ප්‍රේමණීය කතාව

අතිරේක මීවිත

මගේ හීනය සැබෑ වුණා… – ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ – ඉමේෂ් සංදීප

අතිරේක මීවිත

ශ්‍රියන්ත 12 වැනි කාමරේ අරින්න ට්‍රයි කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok