Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භික්ෂුවකගේ වගකීම සහ නූතන ගීතයේ ‘හේමරතන’ මුද්‍රාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භික්ෂුවකගේ වගකීම සහ නූතන ගීතයේ ‘හේමරතන’ මුද්‍රාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අකුරු දි​ගේඅතිරේක

භික්ෂුවකගේ වගකීම සහ නූතන ගීතයේ ‘හේමරතන’ මුද්‍රාව

June 22, 2025
148 Views

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ 71 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය ජුනි 15 වැනිදාය. එදවස වෙනුවෙන් උන්වහන්සේම පබැඳු කවියක් ද අපි මෙසේ පළ කරමු.

ඇල්හේනක පැල් රකිමින් සිටි ගෙවිලියක තිලකුණු මෙනෙහි කරමින් ගැයූ ගීයක් අසා ඒ අසලින් වැඩම කරමින් සිටි භික්ෂුන් වහන්සේ හැටනමක් දෙනා රහත් භාවයට පත් වූ බව සාරත්ථපකාසිනියේ සඳහන් වේ. එවැනි ඉතා ප්‍රබල ආධ්‍යාත්මික පෙරළියක් සිදුකිරීමට ඇල් ගෙවිලියගේ ගීය සමත්වීම, නූතන ගීත සාහිත්‍යයේ අතිශය වැදගත් පැතිකඩක් විමර්ශනය කිරීම පිණිස අපට මනා ප්‍රවේශයක් සපයයි.

සිංහල සංස්කෘතිය සැලකිය යුතු වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය වශයෙන් බව විද්වතුන්ගේ අදහසයි. සිංහල සංස්කෘතියේ ආධ්‍යාත්මික පදනම බුදු දහම වීම එයට හේතුව වී තිබේ. සිංහලයන්ගේ චින්තනයේ මෙන්ම භෞතික ජීවිතයේ සියලු අංගයන් වෙතින්ම පාහේ මෙම බෞද්ධ ආභාසය හඳුනාගත හැකිය. එබැවින් සිංහල ජන ජීවිතය යනු බුදු දහම සමග අවියෝජනීය ලෙස බැඳුණු එකකි. ඇල් ගෙවිලියගේ ගැමි ගීය, තිලකුණු මෙනෙහි කරමින් සැකසීම මෙම අවියෝජනීය සම්බන්ධයේ විශිෂ්ට පලයකි. ගැමි ගීය, ජන කවිය පමණක් නොවේ, සමස්ත චිරන්තන සිංහල සාහිත්‍යයම ගොඩනැඟී ඇත්තේ බුදු දහම සහ බුදු සිරිත පදනම් කරගනිමිනි. සියවස් පහකට නොඅඩු කාලයක් පුරා පැවති අධිරාජ්‍යවාදී පාලනයේදී පවා බුදු දහමේ ආභාසය සිංහලයන් වෙතින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සමත් වී නැත.

පුරාණ සිංහලයේ ‘පෙදෙන් බුදු සිරිතැ’යි කීහ. ඔවුන් සෑම විටකදීම පද්‍ය උපයෝගි කරගෙන ඇත්තේ එම අරමුණ වෙනුවෙනි. සසදාවත, මුවදෙව්දාවත, කව්සිළුමිණ, ගුත්තිලය, කාව්‍යශේඛරය, බුදුගුණාලංකාරය, ලෝවැඩසඟරාව ඇතුළු අපේ චිරන්තන පද්‍ය සාහිත්‍ය කෘති එයට මනා නිදසුන් සපයයි. සම්භාව්‍ය සාහිත්‍ය කෘති පමණක් නොවේ වෙස්සන්තර ජාතක කාව්‍යය, යසෝදරාවත, අරහත් වන්දනාව, සූවිසි විවරණය ඇතුළු ජනකාව්‍ය වෙතින් ද මෙම යථාර්ථය හඳුනාගත හැකිය. මේ අනුව අතීත සිංහල ජන ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් බෞද්ධ ආභාසය ලැබූ සිංහල පද්‍ය සාහිත්‍යය සිදුකර තිබෙන මෙහෙවර ඉතා විශාල බව පෙනේ.

අපගේ චිරන්තන පද්‍ය සාහිත්‍ය කෘති විමර්ශනය කරනවිට, ඒවායෙන් වැඩිම ප්‍රමාණය භික්ෂුන් වහන්සේලාගේ නිර්මාණ බව හඳුනාගත හැකිය. පොදු ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතය ඉහළ තලයකට නංවනු පිණිස පමණක් නොව ඔවුන් සතුටෙන් පිරුණු ජනතාවක් කරනු සඳහා මෙන්ම ලෝක යථාර්ථය වටහා ගනිමින් අකම්පිතව, ධර්මානුකූලව ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ඇති කරලීම සඳහා උන්වහන්සේලා සිය නිර්මාණ ශක්තිය කැපකර තිබේ. තොටගමුවේ සිරි රහල් හිමි, වීදාගම මෛත්‍රී හිමි, වෑත්තෑවේ හිමි ඇතුළු බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ මඟ ගත් ප්‍රතිභාසම්පන්න ශ්‍රේෂ්ඨ යතිවරු වූහ. සිය භික්ෂු භූමිකාවේ අර්ථසාධනය කරනු වස්, උන්වහන්සේලා සත්‍ය වශයෙන්ම සිදුකර ඇත්තේ කවියෙන් බණ කීම බව පෙනේ. උන්වහන්සේලා සිය පද්‍ය නිර්මාණ මගින් බුදු සිරිත වර්ණනා කරමින් පොදු ජනතාව තුළ ශ්‍රද්ධාව වර්ධනය කිරීම සිදුකළහ. බෞද්ධ ජීවන මාර්ගය දකිනු පිණිස ජනතාවගේ නුවණැස දල්වාලමින් ලෝක යථාර්ථය පිරිසිඳ අවබෝධ කරගැනීමට මඟ පෑදූහ. අටලෝ දහම හමුවේ අකම්පිතව ජීවිතයට මුහුණ දීම සඳහා සවිය ලබා දුන්හ. අපමණ චමත්කාරයෙන් පරිපූර්ණ උන්වහන්සේලාගේ පද්‍ය, අතීතයේ පමණක් නොව සියවස් ගණනාවකට පසුව වර්තමානයේදී පවා කටපාඩම් වන තරමට ජනතාවගේ හදවත්වලට සමීප වී තිබේ. මෙය, භික්ෂුන් වහන්සේලාගේ උරුමය අතිශය නිර්මාණශීලී ලෙස භාවිත කිරීමකි.

එදා කවිය විසින් හිමිකරගෙන තිබුණු තත්ත්වය අද ගීතය විසින් අත්කරගනු ලැබ තිබේ. වර්තමානයේ ගීතය යනු අතිශය ජනප්‍රිය කලාංගයකි. එක් අතකින් එය ගීතයේ දියුණුවටත් තවත් අතකින් පරිහානියටත් හේතු වී ඇති බව පෙනේ. මෙම පසුබිම තුළ භික්ෂුන් වහන්සේලා ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසීම ඉතා වැදගත් ප්‍රවණතාවකි. එසේ නූතන ගීත ක්ෂේත්‍රයට පිවිසීම පිණිස භික්ෂුන් වහන්සේලාට පුළුල් ලෙස දොරටුව විවෘත කළ යතිවරයාණෝ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ නාහිමියෝ වෙති. උන්වහන්සේ හෙළි කළ මඟ අනුව යමින් වර්තමානයේ ගීත රචනා කරන භික්ෂුන් වහන්සේලා බොහෝ වෙති.

ඒ අතරින් පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේ නූතන ගීත රචනා ක්ෂේත්‍රය තුළ පළකරන අසමසම ප්‍රතිභාව විශිෂ්ටය. ඒ තුළ ගැඹුරු අවබෝධයකින් යුක්තව ඉටුකරන භික්ෂු භූමිකාවේ වගකීම ඉතාම විශේෂිතය. අපගේ මෙම අධ්‍යාෂය, අතීත යතිපරපුරේ ආභාසය නොඅඩුව ලබමින් ද භික්ෂුවකගේ උරුමය මනා ලෙස සුරකිමින් ද නූතන ගීත රචනා ක්ෂේත්‍රය තුළ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඉටුකරන භූමිකාව, අපට හැකි පමණින් විමර්ශනය කිරීමක් බව සැලකිය යුතුය.

හේමරතන නාහිමියන් ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1979දී රජරට සේවාව, අනුරාධපුරයට පැමිණීමත් සමගය. එදා මෙදා තුර ගෙවී ගිය කාලය දශක හතරක් ද ඉක්මවා ගොස් තිබේ. මේ සා දිර්ඝ කාලයක් තුළදී උන්වහන්සේ පළකර ඇත්තේ පහන නිවී දොළොස් මහේ – (1988), අතීතය සිහිනයක් – (2004), සීතල ගඟුල වගෙයි – (2009) සහ ‘සඳමඬල වී – (2021) යන ගීත රචනා සංග්‍රහ හතරක් පමණකි. ‘සඳඑළිය – (2004) නම් එක් සංගත තැටියක් පමණකි. දීර්ඝ කාලයක් අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරි පදවිය ඉසිලූ උන්වහන්සේ වර්තමානයේ අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය උසුලති. එවැනි පසුබිමක් තුළ හේමරතන නාහිමියන්ට, සිය ගීත රචනා ගීත වශයෙන් එළිදැක්වීමට අසීමාන්තික අවස්ථාවක් තිබෙන බව පැහැදිලිය. එසේ වුවද උන්වහන්සේ තමාට ලැබී ඇති එම දුර්ලභ අවස්ථාව අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා තිබේ. මෙතරම් දිගු කාලයක් පුරා සීමිත ගීත රචනා ප්‍රමාණයක් පමණක් හේමරතන නාහිමියන් එළිදක්වා ඇත්තේ එබැවිනි. එය උන්වහන්සේගේ විවේක බුද්ධිය ප්‍රකට කරන අගනා අවස්ථාවකි. මෙම විවේක බුද්ධිය ඕනෑම කලාකරුවකුට තිබිය යුතුම ගුණයකි. සිරි රහල්, වෑත්තෑවේ, වීදාගම ආදී චිරන්තන පද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයේ සදානුස්මරණීය යතිවරු සිය ජීවිත කාලය පුරාම බිහිකර ඇත්තේ ඉතා සීමිත නිර්මාණ කෘති ප්‍රමාණයක් පමණකි. මෙම සියලුම යතිවරු රාජානුග්‍රහය ලද සංඝ පීතෘවරුන් බව සැලකිය යුතුය. එබැවින් හේමරතන නාහිමියන් පළකරන මෙසේ විවේක බුද්ධියෙන් යුක්තව නිර්මාණකරණයේ යෙදීමේ ගුණය ඉතා විශිෂ්ට එකකි.

හේමරතන නාහිමියන්ගේ ප්‍රථම ගීත සංග්‍රහයේ ඇතුළත් ප්‍රථම ගීතය වන මෙය විශාරද ගුණදාස කපුගේ සූරීන් විසින් ගායනා කරනු ලබන්නකි.

‘ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මම්
දුගී දෑතට අත්වැලක් වී
දිරිය සවිබල නොපිදුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මම්

මගේ මේ ගී ඔබේ ළය ගිනි
නිවනු වෙනුවට අවුළුවා නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මම්!

(පහන නිවී දොළොස් මහේ/පි.31)

හේමරතන නාහිමියන් රචිත මෙම ගීතය, අපේ මුළු ගීත සාහිත්‍යයම පීරා සොයාගත හැකි, පරාර්ථ චර්යාව පදනම් කරගත් ඉතා විශිෂ්ට වූ දුර්ලභ නිර්මාණයකි. බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පාරමිතා පිරුවේ ලෝක සත්ත්වයා සංසාර දුකෙන් එතෙර කරවීමේ මහා කරුණාවෙනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු පරිනිර්වාණයට පත්වෙනතුරුම ගම් දනව් සිසාරා පාගමනින් වැඩම කරමින් අපමණ වෙහෙස ගත්තේ ද ඒ උතුම් අරමුණෙනි. එම පරම පවිත්‍ර වූ චේතනාවෙන් කළ දීර්ඝ වූ සංසාර චාරිකාවේදී උන්වහන්සේ විසින් විඳින ලද දුක්ඛ දෝමනස්සයන් අප්‍රමාණය. එපමණ දුක් නොවිඳ එයට බොහෝ පෙර බුද්ධත්වයට පත් නොවී නිවන් දැක සසර කෙළවර කිරීමට තිබූ අවස්ථා අත්හැර බුදුන් වහන්සේ කළ අසිරිමත් කැපවීම ලෝකයේ දැකගත හැකි ශ්‍රේෂ්ඨතම මානව පරිත්‍යාගය වේ. භික්ෂුන් වහන්සේලා යනු ඒ උත්තරීතර මනුෂ්‍යයාගේ ශ්‍රාවකයෝ වෙති. එබැවින් සැබෑ භික්ෂුත්වය යනු එකම පරාර්ථකාමී ජීවිතයකි. හේමරතන නාහිමියන් සිය ගීතය මගින් කුලුගන්වන්නේ එකී උත්තම මානව දයාවයි. පරාර්ථ චර්යාවේ හද සසල කරවන කැපවීමයි. උන්වහන්සේ සිය ගීතයෙන් අසන්නේ අනුන්ගේ දුක නොදැක, ඒ දුක් වේදනාවෙන් කම්පා වෙන ළයක් නොමැතිව, දුබලයා හට අත්වැලක් නොවී යමකු ලබන සතුටේ අර්ථය කුමක්ද යනුවෙනි. අනුන්ගේ දුකක් වේදනාවක් නොදුටු දෙනෙතින්, නොඇසූ සවනින් ගොළුව බිහිරිව නිහඬව සිටීම කවර මිනිසත්කමක් ද යනුවෙනි. සැබැවින්ම මෙම ගීතය අසා අනුන්ගේ පිරිපතේ දී සසල නොවන හදවතක් තිබේද?

උපාලි ජයලත්ගේ තනුවකට නාලක අංජන කුමාර සංගීතය නිර්මාණය කළ හේමරතන නාහිමියන්ගේ මෙම පදවැල කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන්නකි.

‘අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ

තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවෙක් නෑ
ලොවේ පැරදුම මිසක කිසි දා
ලැබූ දිනුමක් නෑ

(අතීතය සිහිනයක්/පි. 64)

බැලූ බැල්මටම ‘අතීතය සිහිනයක්’ භික්ෂුන් වහන්සේ නමකට නොගැළපෙතැයි සිතෙන තරමේ ප්‍රේම ගීතයකි. තුරුණු සිතක බිඳීගිය ප්‍රේමයක සියුම් වේදනාව, ගීතය පුරා නින්නාද වෙනු මෙනි. විස්මය වන්නේ එම මතුපිට තලය විනිවිද ගීතයේ යටිපෙළ අරුත මතුවෙන විටදීය. එය ශ්‍රාවකයාට එක එල්ලේ නොකියා සියුම් ලෙස ඇඟවීමට හේමරතන නාහිමියෝ සමත් වී සිටිති. උන්වහන්සේ බුදු දහමේ ගැඹුරු සත්‍යයක් මතුකර පෙන්වන්නේ, සැඟවුණු නිධානයක් මතුකර ගන්නාක් මෙනි. මිනිසාට සෑමවිටකදීම ජීවත් විය හැකි වන්නේ වර්තමානයේ පමණකි. ඔහුට කිසිම විටක අතීතයට හෝ අනාගතයට යෑමට නොහැකිය. එබැවින් අතීතය සිහිකර ශෝක කිරීමත්, අනාගතය පිළිබඳ සිහින මැවීමත් අර්ථ ශූන්‍ය බව බුදුදහම පෙන්වා දෙයි. මෙම යථාර්ථය නොදැක මිනිසා ශෝකයට ගොදුරු වන්නේ තෘෂ්ණාව හේතුවෙනි. තෘෂ්ණාව නිසා ඇතිවෙන බැඳීමෙන් ලැබිය හැකි ජයක් වේද? මෙම අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමේ එකම මාර්ගය සොබාදහමට අවනත වීමයි. යථාර්ථය පිරිසිඳ අවබෝධ කිරීමයි. බැඳීම් සිඳීමයි. හේමරතන නාහිමියෝ සෞන්දර්යයෙන් සිත් පිරිමදිමින්, සැබෑ භික්ෂුවක ලෙස ශ්‍රාවකයා ප්‍රඥාව කරා රැගෙන යන ආකාරය ඉතා විශිෂ්ට වේ.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ වැඩ සිටි අප්‍රමාණ ඉවසීමක් සහිත, නිහතමානී ගුණයෙන් පිරිපුන් බුද්ධ පුත්‍රයෙක් වෙති. උන්වහන්සේගේ චරිතාපදානය පාදක කරගනිමින් හේමරතන නාහිමියන් රචිත මෙම ගීතය, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ටී.එම්. ජයරත්නයන් ගායනා කළ එකකි.

‘උස්මිටි තැන් නොබලාවී
වැට මායිම් නොබඳීවී
එක යායක් සේ සලකා
පුන්සඳ සිසිල සදාවී
ඔබට කියන්නට හැකි නම්
ඒ සඳ මඬල වගෙයි මං!

සුගඳින් වසඟ නොවේ වී
දුග`දැයි ඉවත නොලා වී
සුගඳ දුගඳ ගෙන එක සේ
සිහිලැල් මඳ සුළඟ හමා වී
ඔබට කියන්නට හැකි නම්
ඒ මඳ සුළඟ වගෙයි මං!

මල් කැන් රේණු සලා වී
ඇතැමුන් වසුරු හෙළා වී
කිසි වෙනසක් නෑ හිනැහී
ගඟ නිල් දිය සළුව හැඳි වී
ඔබට කියන්නට හැකි නම්
ඒ සීතල ගඟුල වගෙයි මං

සුවඳින් පිරිබඩ ලා වී
කැළි කසළින් සරසා වී
හතුරු මිතුරුකම් ඉවසා
නොසැලී මහ පොළොව හිඳී වී
ඔබට කියන්නට හැකි නම්
ඒ මහ පොළොව වගෙයි මං!

(සීතල ගඟුල වගෙයි/ පි.68)

අටලෝ දහමෙන් කම්පා වීම පුහුදුන් මිනිසාගේ ස්වභාවයයි. එසේ වුවද අප කළ යුත්තේ අටලෝ දහමෙන් නොසැලී ජීවිතයට මුහුණදීම බව බුදුදහම අපට කියා දෙයි. දෑසින් සැඟවී පවතින මෙම සදාතනික සත්‍යය, ශ්‍රාවක සිත් පහන් කරවමින් හේමරතන නාහිමියෝ අප අබිමුවට ගෙන එන්නේ කල්‍යාණ මිත්‍රයකු ලෙසිනි. ලෝකයේ පවත්නා අප දන්නා බොහෝ සංසිද්ධීන් අප ඉදිරියට ගෙන එන උන්වහන්සේ, ඒවායේ අප නොදකින යථා ස්වභාවය අපට සියුම් ලෙස සිහිපත් කරවයි. සඳ, සුළඟ, ගඟුල මෙන්ම මහ පොළොව නොසැලී සමසිතින් සියල්ල විඳ දරාගන්නා ආකාරය අපට අප ගැනම සිතන්නට දොර කවුළු විවර කරවයි. ඒ සඳ මඬල වගෙයි මං යැයි කියන විට අපට එය නොහැකි මන්දැයි ශ්‍රාවකයාට සිතෙයි. ගීත රචනාවකින් ඉසියුම් ලෙස කරන, මේ කරන කාර්යය බණවර දහසකින්වත් කිව නොහැකි මහ බණකි. එය හේමරතන නාහිමියන්ගේ ප්‍රතිභාවේ මෙන්ම අප්‍රමාණ මානව දයාවේ ද විශිෂ්ට සංකලනයකි.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට හේමරතන නාහිමියන් රචිත ගීතය, ගීත රචනය පිළිබඳ උන්වහන්සේ සතු ගැඹුරු ඥානය මෙන්ම භික්ෂුවකගේ උරුමය ද එක ලෙස කැටිකරගත් දුර්ලභ නිර්මාණයකි. නදීක ගුරුගේගේ සංගීතයට, නිරෝෂා විරාජිනී මෙම ගීතය ගයා තිබේ.

සඳමඬල වී ගුවනේ දිලෙයි
සඳ සිසිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත් පාවි පාවී අවුත්
මඳ සුළඟ සේ ගත සිත වෙළෙයි

පලබරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු පල රස විඳිනා
පින නැතත් සිත තුටින් පිරී යයි

සසර හමුවන පැතුම්
හිත දරාගෙන හිඳිම්
අද අහිමි වෙන දේ යළි
හෙට දෙපා මුල රැඳෙයි

මේ නොවෙද ජීවිතේ
සිත නිවන සිතුවිල්ල එයම වේ

(සඳමඬල වී/පි.19)

චිත්‍රපටයකදී ගීත රචකයාගේ නිදහස සීමාවෙයි. චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ ආධිපත්‍යයට යටත්වීමට ඔහුට සිදුවෙයි. එහෙත් ශූර ගීත රචකයෝ සිය ප්‍රතිභාවෙන් මෙය ජය ගනිති. මහ රජ ගැමුණු චිත්‍රපටයේ මෙම ගීතය ගයන්නේ, එළාර රජතුමාගේ දූ කුමරියයි. සිය පියාගේ පසමිතුරු ගැමුණු කුමාරයාට ඇය සිතෙන් පෙම් බඳියි. මේ අප්‍රකාශිත ප්‍රේමය, චිත්‍රපටයේ රූපය ඉක්මවා මතු කළ යුතු ඉතා සියුම් එකකි. හේමරතන නාහිමියෝ පළමුව ප්‍රේමයේ විචිත්‍රත්වය චිත්‍රණය කරයි. ඊළඟට ඒ ප්‍රේමය විඳීමට තමාට පින නැති බව සිහිකරයි. ඒ සත්‍ය වටහා ගන්නා ඇය කියන්නේ අද අහිමි දේ හෙට යළි දෙපා මුල රැඳෙන බවයි. මේ ජීවිත යථාර්ථය නොවේද? හේමරතන නාහිමියෝ ශෛවාගමික යුවතියකගේ මුවට අතිශය නිර්මාණාත්මක ලෙස නඟන මේ පද පෙළ, බුදු දහමේ එන සදාතනික සත්‍යයත්, ශ්‍රාවකයා ඉදිරියට ගෙන ඒමකි. එහෙත් ඒ සෘජුව නොවේ. චිත්‍රපටයේ දී මෙම ගීතය එහි අභිමතාර්ථ මෙහෙවර අපූර්වත්වයෙන් යුතුව ඉටුකර අවසානයේ එය ඉක්මවා සදාතනික ලෙස සහෘද මනසේ රැඳී තිබේ.

අප ඉහත ඉදිරිපත් කර ඇත්තේ, පල්ලේගම හේමරතන නාහිමියන්ගේ සමස්ත ගීත රචනා නියෝජනය වන හරස්කඩකි. ඒවා විශ්ලේෂණය කරනවිට හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ රැසකි. ගීතයට උචිත අනුභූතීන් තෝරාගැනීමේ දුලබ හැකියාව සහ අදාළ අනුභූතියට අනුව ගීතයේ ආකෘතිය නිර්මාණය කිරීම කෙරේ උන්වහන්සේ දක්වන විශේෂ සැලකිල්ල ඒ අතර වැදගත් එකකි. ගීතයේ සැඟවුණු අරුත් මතුකිරීමට මෙන්ම සෞන්දර්ය ජනනය පිණිස එය හේතු වෙයි. එය එකී සැඟවුණු අරුත් සංගීතයෙන් විදාරණය කිරීමට සංගීතඥයාට මං සලසයි. ඒ සඳහා භාෂාවේ සංගීතය මැනවින් හසුරුවමින් උන්වහන්සේ කරන භාෂා භාවිතය විශිෂ්ටය. ගීත රචනාවක් යනු කාව්‍යාත්මක ප්‍රකාශනයකි. එහිදී භාෂාවේ මනා සංචිත්‍යයෙන් යුතු පද සංයෝජනයෙන් ධ්වනිතාර්ථ නැංවීම වැදගත් වේ. කුමට සත්සර රාව නංවා – හිඳිමි ගොළු වී මම්, ‘අතීතය සිහිනයක් පමණය’, ‘සීතල ගඟුල වගෙයි මං’, සඳමඬල වී ගුවනේ රැඳෙයි’ වැනි නැවුම් යෙදුම් ඒ බව මැනවින් පසක් කරයි.

හේමරතන නාහිමියන්ගේ ගීත රචනාවල දක්නට ලැබෙන ඊළඟ වැදගත්කම ගුණය මතුපිට අරුත ඉක්මවා යමින් යටි පෙළ අර්ථයක් මතුකිරීමයි. මෙය නූතන බොහෝ ගීත රචනාවල දක්නට නොලැබෙන ගුණයකි. නූතන ගීතය යනු පද්‍යයත් සේම සහෘදයා ඥානනය කරවිය යුතු කලාකෘතියක් ලෙස සැලකේ. විශේෂයෙන් අපේ අතීත යතිවරුන් නිර්මාණය කළ පද්‍ය කෘතිවල, සෞන්දර්යාත්මක ගුණය දැකගත හැකි වුවත් මෙසේ යටි පෙළ අරුත් මතුකරමින් සහෘදයා ඥානනය කරලීම මඳය. සෘජුවම බුදු ගුණ හෝ බුදු බණ කීම උන්වහන්සේලාගේ පරමාර්ථය වීම එයට හේතු වන්නට ඇත. හේමරතන හිමියන් ගීතයෙන් බණ කීවද අතීත යතිවරුන් ගත් මඟෙන් එහිදී නිර්මාණාත්මක ලෙස බැහැර වෙයි.

අවසානයේ මතු කෙරෙන ඉතා වැදගත්ම ලක්ෂණය හේමරතන නාහිමියන්ගේ කුමන ගීත රචනාවක් විමර්ශනය කළ ද එය භික්ෂුත්වය හා නොගැටී භික්ෂුවගේ උරුමය මත ස්ථිරසාරව දෙපය තබාගෙන සිටීමයි. උන්වහන්සේ සිය ගීත රචනා සඳහා විවිධ රහතන් වහන්සේලාගේ මෙන්ම වෙස්සන්තර, අදින්නපුබ්බක, ගෝරිමන්ද, ජූතක, සෝපාක වැනි බෞද්ධ සාහිත්‍යයේ එන චරිත පාදක කර ගනිති. තවත් විටෙක රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය වැනි බෞද්ධ සිද්ධාස්ථාන නිමිති කර ගනිති. ඊළඟ මොහොතේ විවිධ නූතන සංසිද්ධීන් සිය ගීත රචනාවන්ට හසුකර ගැනීමට උත්සුක වෙති. එහෙත් ඒ කිසිම විටෙක එමගින් සිය ගීතය වාර්තාමය ස්වරූපයකට පත් කිරීමට ඉඩ නොතබති. සියුම් ලෙස යටි පෙළ පුරුක් මතුකරති. උන්වහන්සේ එය සිදුකරන්නේ, බෞද්ධ දර්ශනය, බෞද්ධ ධර්මය මෙන්ම බෞද්ධ ජීවන පැවැත්ම සිය ගීතවලින් මතු කරමිනි. ශ්‍රාවකයාටම සිතීමට ඉඩ හැරීමෙන් එකී අවබෝධය ලබාගැනීමට මං පෙත විවර කිරීම සිදු කරති. එය අපගේ චිරන්තන පද්‍ය සම්ප්‍රදායේ යතිවරුන් ඉක්මවා විශිෂ්ට නිර්මාණාත්මක තලයකට සිය ගීතය ඔසවා තැබීමකි. උන්වහන්සේ නිසැකවම ගීතයෙන් බණ කියති. ඒ වෙන ශ්‍රාවක මනසට කිඳා බැස සිත ආලෝලනය කිරීමට පටන් ගන්නේ චමත්කාරය තුළින් ඇති කරවන රසය අත්වැලක් කරගනිමිනි. මෙම දුර්ලභ ගුණය වූ කලී හේමරතන නාහිමියන්, භික්ෂුවකගේ උරුමය මැනවින් වටහාගෙන ඒ තුළ රැඳෙමින් මානව යහපත වෙනුවෙන් සිය පන්හිඳ හැසිරවීමකි. යතිවර ගීත රචනා ක්ෂේත්‍රයේ පමණක් නොව, සමස්ත සිංහල ගීත රචකයන් අතර ද හේමරතන මුද්‍රාව කැපීපෙනෙන්නේ එබැවිනි.

● කේ.එම්.අයි. ස්වර්ණසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
අකුරු දි​ගේ අතිරේක

නූතන සිංහල සංගීතයෙහි මහා පුරුෂයා

අකුරු දි​ගේ අතිරේක

පවන් සලන ලෙස රෝ දුක් නිවේවා!

අතිරේක මීවිත

ක්ලැරා-ශීලාගේ අපූරු ප්‍රේමණීය කතාව

අතිරේක මීවිත

මගේ හීනය සැබෑ වුණා… – ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ – ඉමේෂ් සංදීප

අතිරේක මීවිත

ශ්‍රියන්ත 12 වැනි කාමරේ අරින්න ට්‍රයි කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok